April 23, 2024

අටලුගම පොලීසියට පහරදීම: අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර 15 හැවිරිදි දැරියකුත්

September 10, 2020

බණ්ඩාරගම, අටළුගම, මාරව ප්‍රදේශයේ ගංජා ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ජාවාරම්කරුවන් පහරදී තිබිණි.

එහිදී පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු, සැරයන්වරියක් හා පොලිස් කොස්තාපල්වරියක් තුවාල ලැබීය.

“ගොටුකොළ රිෆායි“ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බණ්ඩාරගම, අටළුගම, මාරව, ඉජිතුමා මාවත ප්‍රදේශයේ නිවසක ගංජා ජාවාරමක් සිදුකරන බවට බණ්ඩාරගම පොලීසියට තොරතුරු ලැබී තිබූ අතර ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට ගොස් වැටලීමක් සිදු කර තිබේ. 

එහිදී නිවැසියන් පිරිසක් විසින් පොලිස් නිලධාරීන්ට බාධා කර තිබිණි. පසුව ගංජා ජාවාරම සිදුකරන නිවසේ සිටි කාන්තාවන් පිරිසක් පොලිස් කාන්තාවන් දෙදෙනෙකුට කෙස්වැටියෙන් ඇද පහරදී තිබේ.

එම අවස්ථාවේ දී එක් කාන්තාවක් පොලිස් කාන්තාවකට පා පහරක් ද එල්ල කර ඇති අතර පොලිස් අත්අඩංගුවට පත් වූ පුද්ගලයෙකු නිදහස් කර ගැනීමට එම කාන්තාවන් පිරිස උත්සාහ දරා තිබිණි.

මේ අතරතුර දී ගංජා ජාවාරමේ යෙදෙන බවට පැවසෙන තවත් පුද්ගලයෙකු පිහියක් ද රැගෙන විත් පොලීසියට පහරදීමට උත්සාහ කර ඇත.

පසුව සැකකරුවන් ජීවත් වූ නිවස පොලිස් නිල සුනඛයන් ද යොදාගනිමින් පරීක්ෂා කළ අතර එහිදී නිවස තුළ තිබී කේරල ගංජා ග්‍රෑම් 500 ක් සොයා ගනු ලැබීය.

කෙසේ වෙතත්, පහරදීම සිදුකළ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත් අතර, ඒ අතර 15 හැවිරිදි දැරියක් ද සිටින බව පොලීසිය පවසයි. 

සැකකරුවන් සියලු දෙනා එකම පවුලේ ඥාතීන් වන අතර, පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි. 

Rate this item
(0 votes)