April 19, 2024

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස් ගත්තේ ශ්‍රී වික්‍රම රාජසිංහගෙන්ද?

February 24, 2020

‘‘මම ඇමරිකාවට වීසා ඉල්ලුවෙත් නැහැ. මගේ පවුලෙ අය ඉල්ලලත් නැහැ. ඉල්ලන්න බලාපොරොත්තුවකුත් නැහැ. මට විරුද්ධව ඇමරිකාව ඉදිරිපත් කරන එක්සත් ජාතීන්ගේ වාර්තාව 2011 වසරේ එකක් බව කියනව. මම 2010 ඉඳන් 2015 වනතෙක් ඇමරිකාවේ නිව් යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කළා. එදා නැති තහනමක් අද ආවේ කොහොමද?’’

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එසේ මා සමග කීවේය. ඔහු මෙරට ජනතාවගේ ඉමහත් ආදරය හා ගෞරවයට පාත්‍ර වූ සෙන්පතියෙකි. කොටි ත්‍රස්තවාදය මර්දනය කළ යුද මෙහෙයුම්වලදී මෙන්ම අවසාන මානුෂික මෙහෙයුමේදී ද ඔහු හා ඔහුගේ භට පිරිස් දැක්වූ වීරත්වය හමුදා ඉතිහාසයට එක්වනු ඇති බව බොහෝ දෙනා කියති. ගජබා රෙජිමේන්තුවට අයත් නිලධාරියකු වූ ඔහු 58 වැනි සේනාංකාධිපති ලෙස අණදෙමින් ප්‍රභාකරන් පරාජය කළ වෙල්ලමුල්ලි වයික්කාල් මෙහෙයුමේ ප්‍රධාන භූමිකාවක් දැරීය. ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල් ධුරයට උසස් කරනු ලැබූ ළාබාලතම නිලධාරියා ශවේන්ද්‍ර සිල්වාය. වීර වික්‍රම විභූෂණය, රණවික්‍රම රණසූර යන වීර පදක්කම් ත්‍රිත්වයම ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ මුල්වරට දිනාගත් නිලධාරියා වන්නේ ඔහුය. නොකළැල් සේවයට හිමි උත්තම සේවා, විශිෂ්ට සේවා, විභූෂණ යන පදක්කමින්ද ඔහු පිදුම් ලබා ඇත්තේය. පසුගිය වසරේ අගෝස්තු 21 වැනිදා ඔහු යුද හමුදාපති ධුරයට පත් විය.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට හා ඔහුගේ පවුලේ අයට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කරන බව ඇමරිකාව ඉකුත් 14 දා නිවේදනය කළේය. මේ නිවේදනයට අස්සන් කොට තිබුණේ රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පිඕ විසිනි. ඒ රාජ්‍ය දෙපාර්තමේන්තු ව්‍යවස්ථාවේ 7031(C) වගන්තිය යටතේය. මේ තහනම පිළිබඳ ශ්‍රී ලංකා රජය දැඩි කෝපයට පත් වී ඇති බව පෙනී යන්නේ, නිවාඩු දිනයක් බව නොසලකමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය ඇලයිනා බී. ටෙප්ලිට්ස්, විදේශ අමාත්‍යාංශයට කැඳවනු ලැබීම නිසාය.

තානාපතිනිය සිය කාර්යාලයට පැමිණි අවස්ථාවේදී විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන දැක්වූ තර්ක සියල්ලම පාහේ ඇයට පිළිගන්නට සිදු වූ බව පෙනේ.

‘‘මේ කරන්න හදන්නෙ අපේ අත නවල අඹරවන්න හදනව වගේ දෙයක්. අපේ හමුදාපතිවරයාට මේ කළ දේ වැරදියි. මම දක්වපු කරුණුවලට පෙරළා උත්තර දෙන්න තානාපතිනියට කරුණු තිබුණේ නැහැ. ඇය කිව්වෙ අපි ගෙනහැර දක්වපු කරුණු වගේම අපගේ දැඩි විරෝධයත් රාජ්‍ය දෙපාර්තමේන්තුවට වාර්තා කරන බව පමණයි.’’ ඇමැති දිනේෂ් ගුණවර්ධන මේ ලියුම්කරු සමග කියා සිටියේ ශ්‍රී ලංකා රජය දක්වන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොවන බවයි. රජය අප හැමදෙනාගේම සතුටට හේතුවන මෙවැනි දැඩි තීරණයක් ගෙන තිබෙන අතර දෙමළ ජාතික සන්ධානය, හිටපු මහ ඇමැති විග්නේශ්වරන්, කේ. සිවාජිලිංගම් ආදීහු මේ තහනම ගැන මහත් සතුටකට පත්ව සිටිති. යුද සමයේ සිද්ධීන්වලට හමුදා නිලධාරීන්ට දැඩි දඬුවම් දිය යුතු බව ඔවුන්ගේ මතයයි.

නාවික හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානියා වූද, නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයා වූද රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට මෙසේ පණිවුඩයක් එවා තිබුණි.

2002 දී ඇමරිකාව ඉන්දියාවේ මෝදිටත් ඇමරිකාවට ඇතුළු වීමට වීසා දුන්නේ නැහැ. දැන් ඔහු ඇමරිකාවේ ගෞරවනීය ආරාධිතයෙක්. වැඩි කලක් යන්නට කලින් ඔවුන් ඔබටත් ඒ විදියටම ආරාධනා කරාවි.

මොහාන් විජේවික්‍රම සිය ෆේස්බුක් වෙබ් අඩවියේ සටහනක් ලියමින් තවදුරටත් මෙසේ කියයි.

ඇමරිකාව ශ්‍රී ලංකාව සමග ආරක්ෂක ගිවිසුමක් අස්සන් කොට තිබෙනවා. එහෙම තත්ත්වයක් තිබියදී, අපේ හමුදාපතිට තහනම් පැනවීමෙන් පසු එම්.සී.සී. ගිවිසුම හෝ සෝෆා ගිවිසුම ගැන සිතීම පවා හාස්‍යයට කරුණක්.

මොහාන් විජේවික්‍රම කියන්නේ ACSA නම් වූ එම ආරක්ෂක ගිවිසුම යටතේ ඕනෑම ඇමෙරිකානු සෙබළෙකුට ලංකාවට ඇතුළු වීමට වීසා අවශ්‍ය නැති බවය. ඔහු කියන්නේ ඇත්තකි. 1994 දී චන්ද්‍රිකා විසින් අස්සන් කරන ලද මේ ගිවිසුම මහින්ද රජය විසින් නැවත අස්සන් කරන ලද්දේ අවුරුදු දහයකට සීමා කරමිනි. නමුත් යහපාලන රජය විසින් හොර රහසේම එය අලුත් කොට ඇත්තේ නියමිත කාල සීමාවකින් තොරවය. එම ගිවිසුම ඇමරිකාව පැත්තට කෙතරම් බලවත්ද යත්, වීසා නොමැතිව ලංකාවට ඇතුළුවන ඇමෙරිකානු යුද භටයකුට මෙරටදී වාහනයක් පැදවීම සඳහා රියැදුරු බලපත්‍රයක්වත් අවශ්‍ය වන්නේ නැත. මෙවැනි පාවාදීම් කළ විට ඇමරිකාව අපට තහනම් නොදා ඉඳීවිද?

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තීරණය කැකිල්ලේ රජුගේ නඩු තීන්දුවක් බඳුය. දඬුවම් පමුණුවා ඇත්තේ ඔප්පු නොකරන ලද චෝදනා මතය. අපේ යුද හමුදා නිලධාරින්ට එල්ල කරන ලද සමූල ඝාතන චෝදනා ශ්‍රී ලංකා රජය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කොට තිබේ. බ්‍රිතාන්‍යයේ නේස්බි සාමිවරයා, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පවා ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කොට ඇති බව ඇමැති දිනේෂ් ගුණවර්ධන, ඇමෙරිකානු තානාපතිනියට මතක් කර දුන්නේය.

වඩාත් දුෂ්ට හා අපහාසාත්මක දඬුවම නම්, ශවේන්ද්‍ර සිල්වාගේ බිරියට හා දියණියන් දෙදෙනාට පවරා ඇති තහනමය. එය දෙපාර්තමේන්තු ව්‍යවස්ථාවට අනුකූල බව කියනු ලැබේ. පවුලේ අය කඩකොට ඇති මානව හිමිකම් මොනවාදැයි ඇසිය යුතුය. එය හරියටම ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින්, ඇහැලේපොළ නිලමේගේ දරුවන්ට, බිරියට දුන් දඬුවම් ගැන සිහිපත් කරයි. ඇත්තටම මෙහිදී මානව හිමිකම් කඩකොට ඇත්තේ ඇමරිකාවයි. යුද්ධයට කිසිසේත්ම සම්බන්ධ නැති පවුලේ අයට තහංචි පැනවීම ඔවුන්ගේ මානව හිමිකම් උදුරා ගැනීමක් නොවේද?

මේ සිද්ධිය තහනමකින් ඔබ්බට ගිය, ගැටලු ඇතිවිය හැකි කරුණක් බව පෙනේ. තහනම අගය කරන ‘‘ටැමිල් ගාඩියන්’’ වෙබ් අඩවිය කියන්නේ මෙය එකට එක කිරීමක් බවයි. ඒ පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි චීන විදේශ අමාත්‍යවරයා කළ ප්‍රකාශයකටය. ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට කිසිම බලවතකුට ඉඩ නොදෙන බවය. ‘ටැමිල් ගාඩියන්’ වෙබ් අඩවිය කියන්නේ ඇත්තක් විය හැකිද? නොඑසේ නම් ජිනීවා සමුළුවට කරන්නට හදන බලපෑමක්ද? එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මේ සිදුවීම ආණ්ඩුවට පහර ගැසීමේ අවස්ථාවක් කොට ගත්තේය. ඔහු කියන්නේ යහපාලන සමයේ මෙවැනි දේවල් නොවුණු බව හා තහනම මේ ආණ්ඩුවේ වැරදි විදේශ ප්‍රතිපත්තියකින් වී ඇති දෙයක් බවය. කිරිඇල්ල සනාථ කරන්නේ 2015 දී රාජපක්ෂ ආණ්ඩුව පලවා හැර යහපාලන රජය පිහිටුවීමට කළ බලපෑමය. මෛත්‍රි - රනිල් බලයට ගෙන ඒමට විශාල දායකත්වයක් දුන් බවට විපක්ෂයේ චෝදනා එල්ලවෙන ඇමරිකාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීම ඉවසා දරාගන්නට ඇත්තේ අසීරුවෙන් විය යුතුය. මේ තහනම ඇමෙරිකානු පළිගැනීමේ ආරම්භක පියවරද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද යුද හමුදාපතිවරයාට පැනවූ තහනම පිළිබඳ විරෝධය පළකොට තිබේ. එස්. එම්. මරික්කාර් කියා ඇත්තේ විරෝධය පළකිරීමට අපි හැමෝම ඇමෙරිකානු වීසා නොඉල්ලා සිටිමු කියාය. එක්සත් ජාතික පක්ෂය කළ යුත්තේ මෙවැනි විහිළු කතා නොකියා ඇමරිකාවට විරෝධය පළ කරමින් නිල ප්‍රකාශයක් නිකුත් කිරීමයි. ඇමෙරිකානු තානාපතිනිය හමු වී සිය විරෝධය පළ කිරීමය.

ශවේන්ද්‍ර සිල්වා යුද පෙරමුණේ සිටියේ සරත් ෆොන්සේකා යටතේ බව දෙමළ සන්ධානයට අමතක වී ඇති බව පෙනේ. ඇමරිකාව මීට පෙර මෙවැනි නිවේදන නිකුත් කළ යුතුව තිබුණේ එදා යුද හමුදාව මෙහෙය වූ සරත් ෆොන්සේකාටය. දෙමළ සන්ධානය ද සරත් ෆොන්සේකාට ප්‍රබල විරෝධයක් දැක්විය යුතුය. නමුත් 2010 ජනාධිපතිවරණයට ෆොන්සේකා ඉදිරිපත් වූ විට දෙමළ සන්ධානය ඔහුට සහයෝගය දුන් බව රහසක් නොවේ. එදා ද ඇමරිකානු සහයෝගය ලැබෙන්නට ඇත්තේ සරත් ෆොන්සේකාටය.

ශවේන්ද්‍රට පැනවූ තහනම දෙමළ සන්ධානය සතුටු කරන්නට හෝ ජිනීවා සමුළුවට බලපෑම් ඇති කරන්නට පැනවූ එකක් නොවේ. එය එම්.සී.සී. ගිවිසුම හෝ සෝෆා ගිවිසුම අස්සන් කරන්නට කරන බලපෑමක්ද නොවේ. එහි සැඟවුණු අනතුර ජනපති ගෝඨාභය ප්‍රමුඛ රජය විසින් දැනටමත් තේරුම් ගෙන ඇති බවට සැකයක් නැතැයි ප්‍රවීණ දේශපාලන විචාරකයෙක් මා සමග කීවේය. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශවේන්ද්‍ර සිල්වාට එල්ල කරන චෝදනාවල ඉලක්කය හා සැබෑ අනතුර සැඟවී ඇත්තේ එක් වචන පේළියකය. එයින් කියැවෙන්නේ ශවේන්ද්‍ර සිල්වාට වීසා තහනම පනවන්නේ යුද්ධයේ අවසාන අදියරේදී මානව හිමිකම් කඩ කිරීම් හා සමූල ඝාතන සඳහා අණදීමේ වගකීමට සහභාගීත්වය දැක්වූ නිසා බවය.

යුද්ධයේ අවසාන මෙහෙයුමේදී ශවේන්ද්‍ර සිල්වා එක් සේනාංකයක අණ දෙන නිලධාරියා පමණි. ඔහු කටයුතු කළ යුත්තේ, ඔහුට ඉහළින් එනම් හමුදාපතිගේ අණදීමට අනුවය. හමුදාපතිවරයාට අණ දෙන්නේ ආරක්ෂක ලේකම්වරයාය. ඊටත් ඉහළින් සිටින්නේ සේනාධිනායකයාය.

ඇමරිකාව මේ කැසකවන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා වන වත්මන් ජනාධිපතිවරයාත්, එකල සේනාධිනායකයා වූ වත්මන් අගමැතිවරයාත් ඉලක්කයට ගන්නද?

- බන්දුල පද්මකුමාර- 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 13 October 2020 09:33