April 20, 2024

මොන ක්‍ෂේත්‍රයේ හිටියත් ගැහැනියට මඩ වදිනවා වැඩියි – ඕෂධී හිමාෂා

“අපි ලස්සනට ඇඳලා පිළිවෙළට ඉන්න ඕනේ. මාවත් Follow කරන පිරිසක් ඉන්නවා. විවේචන කියන දේවල්වලට මුහුණ දෙන්න මට ශක්තියක් තියෙනවා…” ජනප්‍රිය මෝස්‌තර නිරූපණ ශිල්පිනියක්, නිළියක් වුන ඕෂධී හිමාෂා මීට ටික කාලයකට කලින් මව් පදවිය ලබපු බව ඔබට මතක ඇති. ඉතින් ඒ විදිහට ඕෂධී- මනෝජ් කැදැල්ලට ආපු පුංචි දියණිය දිනේන්ද්‍රා එලිසාට දැන් අවුරුද්දයි. සමාජ මාධ්‍ය ඇතුළේ ක්‍රියාකාරී තාරකාවියක් වුන ඕෂධී ඇගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

ඕෂධිව සිනමාවෙන් මුණගැහෙනවා. ඒ මුණගැසීම ගැන කතා කරමු මුලින්ම? 

මම සම්බන්ධ වුණු චිත්‍රපටවලින් මේ දවස්වල තිරගත වෙන චිත්‍රපටය තමයි මිස් ජෙනිස් කියන්නේ. සුරංගි කියන ජයලත් මනෝරත්න මහත්මයාගේ දුවගේ චරිතය තමයි මම රඟපාන්නේ.

මිස් ජෙනිස් එක්ක එකතු වෙන්න පාර කැපුණේ කොහොමද? 

මේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා වුණ ඩොනල්ඩ් ජයන්ත සහ කැමරා ශිල්පි අයේෂ්මන්ත අයියා තමයි මට මේ නිර්මාණයට කතා කළේ. මම ඒ දෙන්නත් එක්කම ඊට කලින් වැඩ කරලා තියෙනවා. ඒ දැන හඳුනා ගැනීමත් එක්ක තමයි මට මේ චිත්‍රපටයට ආරාධනා කළේ. මමත් ඒ ආරාධනාව සතුටින් භාරගත්තා. මොකද ප්‍රවීණ හොඳම නළු නිළි පිරිසක් එක්ක තමයි මේ නිර්මාණයේ වැඩ කරන්න තිබුණේ. ඒ නිසා හරිම කැමැත්තෙන් මිස් ජෙනිස් චිත්‍රපටය භාරගත්තා.

චිත්‍රපටයේ හැටියට ඔබේ පියාගේ චරිතය රඟපාන්නේ ජයලත් මනෝරත්න මහත්මයා. ඔහු දැන් අප අතර නැහැ. ඔහුත් එක්ක එකට රංගනයට එකතු වෙන්න ලැබීම ඔබට සුවිශේෂී ඇති? 

ඇත්තටම ඔව්. මිස් ජෙනිස් චිත්‍රපටය රූගත කරලා අවුරුදු 2ක් වගේ වෙන්නේ. ඒ නිසා එතුමා එක්ක රංගනයට සම්බන්ධ වුණ මෑතකාලීන අත්දැකීමක් මට තියෙන්නේ. එතුමා එක්ක මම රඟපාපු පළමු සහ අන්තිම නිර්මාණය වුණේ මිස් ජෙනිස් චිත්‍රපටය. ඒ වගේ ප්‍රවීණ හොඳ කලාකරුවෙක් එක්ක රංගනයට දායක වෙන්න තරම් මම ඉතාම වාසනාවන්තයි.

මම සිනමාවට ඉතාම නවකයෙක්. මම රඟපාලා තිබුණේ මගේ පරම්පරාවේ අය එක්ක. ජයලත් මනෝරත්න මහත්මයා වගේ ප්‍රවීණයන් එක්ක රංගනයට සම්බන්ධ වෙන්න ලැබුණු අවස්ථාව මට වටිනවා. එතුමාගේ දුව විධියට මිස් ජෙනිස් චිත්‍රපටයේ රංගනයට එකතු වෙද්දී සෑහෙන ලොකු සහයෝගයක් අපිට ලැබුණා. මම සිනමාවට නවකයෙක් නිසා මගේ රංගනයේ අඩුපාඩු වැඩියි. ඒ වගේ අවස්ථාවල එතුමා ඒ ඒ තැන්වල මේ විධියට රඟපාන්න කියලා උපදෙස් ගොඩක් මට ලබා දුන්නා. එය මට ගොඩක් වටිනවා.

පසුගිය කාලේ නම් ඕෂධීට රංගනයෙන් ටිකක් අෑත් වෙන්න සිදුවුණානේ. දැන් ආයෙත් රංගන කටයුතු පටන් ගෙනද? 

මිස් ජෙනිස් චිත්‍රපටයෙන් පස්සේ මට අලුත් නිර්මාණයකට සම්බන්ධ වෙන්න බැරි වුණා. මොකද මගේ ජීවිතේ වෙනසක් වුණා. මම මවක් වුණු නිසා මට ටික කාලයකට ක්‍ෂේත්‍රයට සමුදෙන්න සිද්ධ වුණා. දැන් තමයි මම ආයෙත් වැඩ කරන්න පටන්ගෙන තියෙන්නේ. මට එක නිර්මාණයකට ආරාධනා ලැබුණා. නමුත් දැන් මම මවක් නිසා වැඩ කරද්දී දහපාරක් හිතන්න වෙනවා. ලැබුණු ආරාධනාව නම් ප්‍රතික්ෂේප කළා. ඒත් හොඳ නිර්මාණයක් ලැබුණොත් දැන් මම සම්බන්ධ වෙන්න සූදානම්. දැන් මට රංගනයටත් කාලය වෙන් කරන්න පුළුවන්.

ඕෂධි මවක් වුණා කියලා හිතන්න බැරි තරමට ශරීරයේ හැඩය පවත්වාගෙන යනවා. ඒ නිසා නිරූපණ කටයුතුවලට නම් සුපුරුදු විධියට සම්බන්ධ වෙන්න පුළුවන් නේද? 

මවක් වෙන්න කලින් සහ දුව ලැබුණට පස්සේ පොඩි කාලයක් නිරූපණ කටයුතුවලින් අෑත්වෙලා ඉන්න සිද්ධ වුණා. නමුත් මම ඉතාම කෙටි කාලයකින් දුව ලැබෙන්න කලින් හිටපු තත්ත්වයටම ශරීරය හදාගත්තා. ඒ නිසා මට නිරූපණ කටයුතුවලට ඉක්මනින්ම එකතු වෙන්න අවස්ථාව ලැබුණා.

දැන් දුවට අවුරුද්දකුත් වෙලා නේද? 

ඔව්. දුවට දැන් අවුරුද්දයි. කාලය ගියා තේරුණේවත් නැහැ.

දුව අම්මටද තාත්තාටද වැඩිපුර ළැදි? 

කතා දෙකක් නෑ තාත්තට තමයි වැඩිපුර ළැදි. මම කොච්චර එයා එක්ක හිටියත් තාත්තා එක්ක ඉන්න තමයි එයා ආස.

දුව කවදා හරි කලාව තෝරා ගත්තොත් ඕෂධි එයට කැමැති වෙනවද? 

ඔව්. මමයි සැමියයි එයාට නීති දාන්නේ නැහැ. එයා කලා ක්‍ෂේත්‍රයට එන්න ආසා නම් අපි පස්සෙන් ඉඳලා එයාට හරි පාර තෝරලා දෙනවා.

මවක් නිසා දැන් වැඩ කරද්දී ඕෂධිගේ තේරීම් වැඩිද? 

මවක් කියන්නේ ලොකු වගකීමක්. ඒ නිසා මම බබා වෙනුවෙන් කාලය වෙන් කරන්න ඕනේ. මම විවාහ වෙන්න කලිනුත් තෝරා බේරාගෙන වැඩ කළේ. තවමත් ඒ තෝරා ගැනීම් තියෙනවා.

නිරූපණ ශිල්පිනියක් ලෙස විවිධ විලාසිතා කරන්න නම් ඕෂධි පැකිළෙන්නේ නෑ නේද? විශේෂයෙන්ම විලාසිතාවලට වාරණ නෑ නේද? 

මම ලංකාවේ ඉන්න නිරූපණ ශිල්පිනියක්. මම විලාසිතාවලට ආසයි. විවාහ වෙන්න කලිනුත් මම විලාසිතා කළා. දැනුත් ලස්සනට විලාසිතා කරනවා. මොකද අපි Follow කරන පිරිසක් ඉන්නවා. අපි ලස්සනට ඇඳලා පිළිවෙළට ඉන්න ඕනේ. මාවත් Follow කරන පිරිසක් ඉන්නවා. අපි විශේෂ දෙයක් කරන නිසයි අපිව බොහෝ දෙනා Follow කරන්නේ. ලස්සනට අඳින පලඳින එක හැම ගැහැනියකටම හොඳයි.

රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වුණාම විවේචන වැඩියි. ඔබත් විවේචනවලට ගොදුරුවුණු කෙනෙක්. ඒ දේවල් ඔබ තකන්නේ නැද්ද? නැත්නම් ඒ විවේචනවලට ඔබ වැටෙන්නේ නැද්ද? 

විවේචන කියන දේවල් මේ ක්ෂේත්‍රයේ විතරක් තිබෙන දේවල් නෙවෙයි. නමුත් කලා ක්‍ෂේත්‍රය ගැන බොහෝ දෙනෙක් සෙවිල්ලෙන් ඉන්නවා. මොන ක්‍ෂේත්‍රයේ හිටියත් ගැහැනියට මඩ වදිනවා වැඩියි. කරුමයකට අපේ ක්‍ෂේත්‍රයේ ඒක කැපී පේනවා. මම කියන්නේ කවුරු හරි කෙනෙක් මේ ක්‍ෂේත්‍රයට එන්න ආසාවෙන් ඉන්නවා නම් මඩ ප්‍රහාරවලට, විවේචනවලට මුහුණ දෙන්න ශක්තිය ඇතිව එන්න. මම මේ ක්‍ෂේත්‍රයේ අවුරුදු 10ක් පුරා ඉන්නවා. මටත් කතා හදලා තියෙනවා. මඩ ගහලා තියෙනවා. පොඩි දේවල් ලොකු කරගෙන කියවලා තියෙනවා. ඕනෑම මිනිස් ජීවිතයක ප්‍රශ්න තියෙනවා. ඒක පොදු කාරණයක්. ඒවා විවේචනය කරන්න දෙයක් නෑ. විවේචන කියන දේවල්වලට මුහුණ දෙන්න මට ශක්තියක් තියෙනවා.

වැඩ කරද්දි ඕෂධිට සැමියාගෙන් තහංචි නැද්ද? 

නැහැ. මම වැඩක් ලැබුණම සැමියාගෙන් අහනවා. නමුත් එයා මට කිසි දෙයකට තහංචි දාලා නැහැ. ඔහුගෙන් මට ලොකු සහායක් ලැබෙනවා. එයා විවෘත මනසකින් හැමදේම හිතන හරිම සරල කෙනෙක්. ෆැෂන් ඉන්ඩස්ටි්‍ර එක ගැන එයා සෑහෙන්න දන්නවා. මම රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරනවාට සැමියා කැමැතියි. එයත් කලාවට ආදරේ නිසා මට තහංචි දාන්නේ නැහැ.

Rate this item
(0 votes)
Last modified on Monday, 19 October 2020 10:27