April 25, 2024

TikTok තහනම් වෙයි?

September 14, 2020

චීනයේ ස්මාර්ට් දුරකථන යෙදුමක් වන ටික්ටොක් ‍එකට අයත් වන ඇමෙරිකානු මෙහෙයුම් වත්කම් වහාම ඇමෙරිකානු ව්‍යාපාරිකයෙකුට විකුණා දමන ලෙස ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් විධායක නියෝගයක් ඔස්සේ ටික්ටොක් මව් සමාගම වන ByteDance වෙත පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව ඇමෙරිකාවේ තාක්ෂණික දැවැන්තයෙකු වන Microsoft සමාගම විසින් ටික්ටොක් හී ඇමෙරිකානු වත්කම් මිලදී ගැනීම සඳහා කැමැත්ත පළ කර තිබුණි.

නමුත් මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් එම කොටස් සඳහා ඉදිරිපත් කර තිබූ ලංසුව ප්‍රතික්ෂේප කිරීමට චීන සමාගම කටයුතු කර ඇති බව දැන් නවතම ආරංචි මාර්ග සඳහන් කර තිබේ. 

ටික්ටොක් හි එක්සත් ජනපද මෙහෙයුම් මයික්‍රොසොෆ්ට් සමාගමට විකුණන්නේ නැති බව බයිට් ඩෑන්ස් සමාගම ඔවුන්ට පවසා සිටි බව මයික්‍රෝසොෆ්ට් ආයතනය ප්‍රකාශ කර තිබුණි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් එම ආයතනය කියා සිටියේ “අපගේ යෝජනාව ජාතික ආරක්ෂක අවශ්‍යතා ආරක්ෂා කරන අතරම ටික්ටොක් පරිශීලකයින්ට හොඳ වනු ඇතැයි අපට විශ්වාසයි” බවයි.

ඇමෙරිකානු ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස පවසමින් පසුගිය මාසයේ දී අමෙරිකානු ජනාධිපතිවරයා විශේෂ නියෝගයක් නිකුත් කරමින් පවසා සිටියේ චීන ස්මාර්ට් දුරකථන යෙදුමක් වන ටික්ටොක් හී ඇමෙරිකානු මෙහෙයුම් වත්කම් වාහම ඇමෙරිකානු සමාගමක් වෙත පවරන ලෙසයි. ඒ සඳහා දින 45ක කාලයක් ලබා දී තිබූ අතර හෙට (15) එම කාලය අවසන් වීමට නියමිතය.

ජනාධිපතිවරයා විසින් මෙම නියෝගය ගැන දැඩි මතයක සිටින අතර ලබා දී අවසන් දිනයට පෙර මෙම කොටස් විකිණීමට අපහොසත් වුවහොත් එය ඇමෙරිකා එක්සත් ජනපදය තුළ තහනම් කර දමන බවද ප්‍රකාශ කර තිබේ.

Rate this item
(0 votes)