March 28, 2024

වසංගතයක් බවට පත්විය හැකි තවත් උණ රෝගයක්

වසංගතයක් බවට පත්විය හැකි නව උණ රෝගයක් චීන විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබේ. මෑතකදී මතුවී ඇති මෙම උණ රෝගය ඌරන් අතර පවතින නමුත් මිනිසුන්ට ද ආසාදනය වියහැකි බව ඔවුහු පවසති.

මෙම රෝගකාරක වයිරසය තවදුරටත් විකෘති වී පුද්ගලයාගෙන් පුද්ගලයාට පහසුවෙන් ව්‍යාප්ත වීමට සහ ගෝලීය වශයෙන් වසංගතයක් ලෙස ව්‍යාප්ත වීමට ඇති හැකියාව සම්බන්ධව පර්යේෂකයෝ දැඩි සැලකිල්ලකින් කටයුතු කරති. ඔවුන් පවසන්නේ මෙය මිනිසුන්ට ආසාදනය වීමට අනුවර්තනය වීමේ සියලු සලකුණු පෙන්නුම් කරන බවයි.

කෙසේවුවද මෙය ක්ෂණිකව ඇතිවිය හැකි ගැටලුවක් නොවන අතර සියුම් අධීක්ෂණයකින් කටයුතු කිරීම අවශ්‍ය බව ඔවුහු පවසති.

ඌරන් අතර වයිරසය පාලනය කිරීමට සහ සතුන් සමග ගැවසෙන සේවකයින් සමීපව අධීක්ෂණය කිරීමට මේ වනවිටත් පියවර ගෙන ඇත. මෙම නව උණ රෝගය 2009 වසරේ ව්‍යාප්ත වූ සූකර උණට බෙහෙවින් සමාන නමුත් වෙනස්කම් කිහිපයක් ද තිබෙන බව විද්‍යාඥයෝ පවසති.

නව උණ රෝගය ඇති කරන වයිරසය G4 EA H1N1 ලෙස නම්කර ඇති අතර කොරෝනා වයිරසය මෙන් ශ්වසන පද්ධතියට හානිකරන බව සඳහන් වේ.

වයිරසය සම්බන්දව අධ්‍යයනය කරන බ්‍රිතාන්‍යයේ නොටිංහැම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කිං චව් චැං ඇතුළු කණ්ඩායම පවසන්නේ රෝගය මෙතෙක් විශාල තර්ජනයක් වී නැතත් ඒ සම්බන්ධව විමසිල්ලෙන් සිටිය යුතු බවයි. මේ සම්බන්ද තොරතුරු ජාතික විද්‍යා ඇකඩමියේ සඟරාවක පළකර ඇත.

Rate this item
(0 votes)