March 28, 2024

නාමල් බාලචන්ද්‍ර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධිමත් (formal) ඇඟලුම්හි අනුග්‍රාහකයා වෙයි

September 25, 2020

මෙරට සුප්‍රසිද්ධ ඇඟළුම් සපයන ආයතනයක් වන නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල විධිමත් (Formal) ඇඟළුම් අනුග්‍රාහකයා ලෙසින් ගිවිසුමකට එළැඹ සිටියි. ඒ අනුව ඉදිරි වසර 3 ක කාලයේදී ජාතික කණ්ඩායම් වල නිල විධිමත් ඇඳුම් අනුග්‍රාහක ලෙසින් නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි ගරු ලේකම් මොහාන් ද සිල්වා මහතාත් නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම වෙනුවෙන් එහි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ නාමල් බාලචන්ද්‍ර මහතාත් අතර මෙම අනුග්‍රාහකත්වය ලබාදීම පිළිබඳව වූ ගිවිසුම අද (සැප්තැම්බර් 23 දා) දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී අත්සන් කොට හුවමාරු කර ගැනිණ.

දෙපාර්ශ්වය අතර අත්සන් තැබුණු මෙම ගිවිසුමට අනුව ඇඟළුම් නිෂ්පාදකයකු මෙන්ම ඇඳුම් නිර්මාණ ආයතනයක් ලෙසින් ශ්‍රී ලංකාවේ කීර්තිමත් නාමයක් දිනා සිටින නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි ජාතික කණ්ඩායම් හි විධිමත් ඇඳුම් සපයන්නා ලෙසින් කටයුතු කරනු ඇත. ඊට අමතරව එම අනුග්‍රාහකත්වය පිරිනැමීම යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ජැකට්, කමිස සහ කළිසම් ඇතුළු අනුග්‍රාහකත්වයට අදාළ මුදල් නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දෙනු ඇත.

ගිවිසුම් හුවමාරු කර ගැනීමේ අවස්ථාවේදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා මහතා, “ක්‍රීඩාවට පමණක් නොවෙයි මුළු ලෝකයටම සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය වී තිබෙන මෙවැනි අවස්ථාවක අපගේ නිල විධිමත් ඇඟළුම් අනුග්‍රාහක ලෙසින් නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම පැමිණීම සම්බන්ධව අපි ඉතා සතුටට පත් වෙනවා” යැයි සඳහන් කර සිටි අතරම, “ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑමට ආයතනික ලෝකයේ ඇති කැපවීම මේ හරහා පෙන්නුම් කෙරෙන බැවින් මෙම හවුල්කාරීත්වය අපි බෙහෙවින් අගය කරමු” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Monday, 12 October 2020 16:06