March 29, 2024

කොළඹ වරාය නගරය තුල සුවිසල් වෙරළ මූර්ති සහ පවුරු සැලසුම් තරගාවලියකට සිසුන්ට අවස්ථාව

කොළඹ වරායට නගරය (Port City Colombo) සිය ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ‘අනාගතයක දැක්ම’ නමින් වෙරළ මූර්ති නිර්මාණ තරගයක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙරට නවක නිර්මාණ ශිල්පීන් ඉලක්ක කරගෙන දියත් කර ඇති මෙම වැඩසටහන මගින් සුවිශේෂී වෙරළ මූර්ති (beach Sculpture) සහ සන්නිවේදන පවුරක් (Interactive Wall) නිර්මාණය කිරීමට එම ශිල්පීන්ට අවස්ථාව හිමිවනු ඇත.

මෙම තරගය කොළඹ වරාය නගරයේ සමාරම්භක වැඩසටහන් මාලාවේ එක් අංගයක් වන අතර, මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී අංග ලෙස ලොව පුරා ජනතාවගේ ආකර්ෂණය දිනාගන්නා, ශ්‍රී ලාංකික අනන්‍යතාව කැටි කරගත් ස්මාරක එකතුවක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ. මේ වනවිට කොළඹ වරාය නගරය තුළ මූලික අදියර කිහිපයක් යටතේ පොදු වෙරළ තීරයන් හා උද්‍යාන වැනි අංග ඉදිකෙරෙමින් පවතින අතර, ඊළඟ අදියර ලෙස මෙම මූර්ති එකතුව සහ සන්නිවේදන පවුර ඉදිවනු ඇත. COVID -19 වසංගත තත්ත්වය හමුවේ පැනවීමට සිදුවී ඇති සීමාවන්ට අනුගත වෙමින්, මෙම තරගාවලිය මුළුමනින්ම www.envisionthefuture.lk වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

නිර්මාණ සැලසුම් සම්බන්ධයෙන් මගපෙන්වීම සඳහා Academy of Design සමග එක්වෙමින් සහ කලා ක්ෂේත්‍රයේ නිල සහකරු ලෙස ARTRA සඟරාව සමග අත්වැල් බැඳගනිමින් ක්‍රියාත්මක කරනු ලබන මෙම තරගයට එක්වී තම හැකියාවන් උරගා බලන මෙන් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මෙරට නවක නිර්මාණ ශිල්පීන්ට හා ශිල්පිනියන්ට ආරාධනා කර සිටී. මෙරට හෝ විදේශ විශ්ව විද්‍යාලයක ලියාපදිංචි වී කලා, ගෘහ නිර්මාණ, නිර්මාණ සැලසුම්, ඉංජිනේරු සහ/හෝ වෙනත් නිර්මාණාත්මක විෂය ක්ෂේත්‍රයක් යටතේ ප්‍රථම හෝ පශ්චාත් උපාධි හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම තරග සඳහා සහභාගී විය හැක. 2019/2020 අධ්‍යයන වර්ෂය තුළ තම උපාධි පාඨමාලා සම්පූර්ණ කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද මේ සඳහා අයදුම් කළ හැකි වේ. තරගකරුවන්ට තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් ඉදිරිපත් විය හැකි අතර (ඉදිරිපත් කළ හැකි උපරිම සැලසුම් සංඛ්‍යාව 2 කි), කණ්ඩායමක් වශයෙන් ඉදිරිපත් වන්නේ නම් සාමාජිකයන් සංඛ්‍යාව 3 කට සීමා විය යුතු ය.

ජයග්‍රාහී සැලසුම් සඳහා රු. 700,000 කට වැඩි වටිනාකමකින් යුත් මුදල් ත්‍යාගයන් හිමිවනු ඇති අතර, එම සැලසුම් කොළඹ වරාය නගර පරිශ්‍රයේ වෙරළ තීරයේ ඉදිකෙරෙනු ඇත. එමෙන්ම අදාළ කාණ්ඩ වල ජයග්‍රහණය ලබාගන්නා පුද්ගලයන්ට හෝ කණ්ඩායම් වලට, අදාළ නිර්මාණය ඉදිකිරීම සඳහා සී. එච්. ඊ. සී. පෝර්ට් සිටි කලම්බු (පුද්.) සමාගම [CHEC Port City Colombo (Pvt) Limited] විසින් තෝරාගනු ලබන ජාත්‍යන්තර ඉදිකිරීම් සමාගම සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාව හිමි වේ. 

මූල්‍ය කලාපය, මධ්‍යම උද්‍යාන වාසය, ජාත්‍යන්තර දිවයින, යාත්‍රාංගණය හා දූපත් වාසය ලෙස අනු කලාප 5 කින් නිර්මිත කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, දකුණු ආසියානු කලාපයේ ඉදිවෙමින් පවතින ජාත්‍යන්තර තලයේ නගරයකි. සාගරය ගොඩකර ඉදිකරන ලද හෙක්ටයාර 269 ක භූමියක ඉදිවන කොළඹ වරාය නගරය, පසුගිය වසර තුළදී ශ්‍රී ලංකාවට අයත් භූමික් ලෙස ප්‍රකාශයට පත්කෙරිණි. එමෙන්ම කොළඹ වරාය නගර පරිශ්‍රයේ ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා ව්‍යපෘති සමාගම මගින් ඉදිරිපත් කරන ලද ඇමරිකානු ඩොලර් බිලියන 1 ක ආයෝජන සැලසුමක් සඳහා පසුගිය මාසයේදී ශ්‍රී ලංකා රජයේ අනුමැතිය හිමි විය.

අනාගත පරපුරේ අභිවෘද්ධිය ඉලක්ක කරගත් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති අතරින් වඩාත් නවීනතම අංග ලක්ෂණ සහිත ව්‍යාපෘතිය ලෙස සැලකේ.

කොළඹ වරාය නගර පිළිබඳව

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යනු වත්මන් කොළඹ මධ්‍යම වාණිජ කලාපයේ දිගුවක් ලෙසින් අලුතින්ම ඉදිවන මූලික ආයෝජනය ඇමරිකානු ඩොලර් 1.4 ක් සහ සමස්ත ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 15 ක් වන නව්‍යතම නගර සංවර්ධන ව්‍යාපෘතියකි. මුහුද ගොඩ කිරීමෙන් බිහිකරන හෙක්ටයාර 269 ක මෙම අලුත්ම භූමි ප්‍රමාණය වත්මන් කොළඹ වාණිජ කලාපයට සහසම්බන්ධීය කෙරේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, මූල්‍ය කලාපය, මධ්‍යම උද්‍යාන වාසය, ජාත්‍යන්තර දිවයින, යාත්‍රාංගනය හා දූපත් වාසය ලෙස අනු කලාප 5 කින් නිර්මිතයි.

ඉදිකිරීම් අවසන් වූ විට කොළඹ වරාය නගරය, වර්ග මීටර මිලියන 5.7 ක් වූ භෞමික අවකාශයක නිර්මාණය වුණු ලොව උසස්ම මට්ටමේ A ශ්‍රේණිගත කාර්යාල සංකීර්ණ, අති නවීන සෞඛ්‍ය සේවා, ප්‍රමිතිගත අධ්‍යාපන සේවා පහසුකම්, බහුවිධ සේවා පහසුකම්, සැහැල්ලු යාත්‍රාංගණ, සුපිරි සාප්පු සංකීර්ණ, හෝටල් සහ විනෝදාස්වාදය සැපයීම සඳහා වෙන්වුණු විශේෂිත පහසුකම් වලින්ද සමන්විතයි. නූතන පරිසර හිතකාමී තිරසාර නගර සංකල්පය සහ සුහුරු නගර සංකල්පය අනුව ඉදිවන කොළඹ වරාය නගරය දකුණු ආසියාවේම කේන්ද්‍රීය මධ්‍යස්ථානය වනු ඇත.

CHEC Port City Colombo (පුද්.) සමාගම පිළිබඳව

China Harbour Engineering Company fyj;a CHEC Port City Colombo (පුද්.) සමාගම යනු China Communications Construction Company Limited (CCCC) හි සාමාජික සමාගමකි. 2006 වසරේදී සංස්ථාගත කෙරුණු CCCC සමාගම හොංකොං කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී ඇති අතර රටවල් හා කලාප 145 ක් පුරා ව්‍යාප්ත වූ එහි 120,000 කට අධික කාර්ය මණ්ඩලයක් සේවය කරයි. එම සමාගම වරාය සැලසුම් හා ඉදිකිරීම්, මාර්ග හා පාලම් සැලසුම් හා ඉදිකිරීම්, කැණීම්, බහාලුම් දොඹකර හා බර යන්ත්‍රෝපකරණ නිපදවීම් යනාදිය සම්බන්ධ ලොව ප්‍රමුඛ පෙළේ සමාගමක් ලෙස සැලකේ. ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධයෙන්ද අත්දැකීම් සම්භාරයක් ලබා ඇති CCCC සමාගම දේපළ ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ ආයෝජන හා සංවර්ධන සමාගමක් ලෙසද කටයුතු කරයි.

2017 දෙසැම්බර් මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 79.4 ක ආදායමක් සහ ඇමරිකානු ඩොලර් බිලියන 183 ක සමස්ත වත්කම් වාර්තා කිරීමට CCCC සමත් විය. Fortune 500 සමාගම් අතර 78 වැනි ස්ථානයේ පසුවන එය 2018 වසරේදී ENR Top International Contractor ලැයිස්තුවේ 3 වන ස්ථානයට පැමිණියේ ය. ලොව විශාලතම බහාලුම් පර්යන්ත හා සාගරය හරහා පාලම් 10 අතරින් 5 ක් ම නිර්මාණය කර ඇත්තේ CCCC විසිනි. 1998 වසරේ සිටම ශ්‍රී ලංකාව තුළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටින එම සමාගම දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය, හම්බන්තොට වරාය, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ, කොළඹ දකුණ බහාලුම් පර්යන්තය ඇතුළු තවත් ප්‍රධාන පෙළේ යටිතල ව්‍යුහ ව්‍යාපෘති රැසක් මෙහෙයවා තිබේ.

Rate this item
(0 votes)