March 29, 2024

2019 සාහිත්‍ය මාසය වෙනුවෙන් මහජන බැංකුවේ "පැතුමක් තෑගි කරමු" වැඩසටහන දියත් කෙරේ

November 05, 2019

සාහිත්‍ය මාසය වෙනුවෙන් පරිත්‍යාගශිලීන් සමඟ එක්ව මහජන බැංකුව දියත් කළ "පැතුමක් තෑගි කරමු" වැඩසටහන යටතේ ලැබුනු පොත්පත් පිරිනැමීමේ සමාරම්භක උත්සවය බ/ අඹගස්දෝව කුමාරපට්ටිය රාජකීය විද්‍යාලයේ්දි පැවැත්විණි. මීට සමගාමීව බණ්ඩාරවෙල විශාඛා මධ්‍ය මහා විද්‍යාලය වෙත පොත්පත් බෙදා දීමද එදින සිදුකෙරිණි. මෙහිදි පොත්පත් මෙන්ම පාසල් අධ්‍යාපනික උපකරණද බෙදා දෙන ලදී. 

පොත් කියවීමට කැමති, එහෙත් මිලදී ගැනීමට තරම් වත්කමක් නැති අපේම දූ පුතුන්ට ශක්තියක් වීමේ අරමුණින් මහජන බැංකුව සිය ආයතනික සමාජ වගකීමක් ලෙස පැතුමක් තෑගි කරමු වැඩසටහන දියත් කරන ලදි. මේ සඳහා ඔබ කියවා අවසන් වූ  ඕනෑම පොතක් ළඟම ඇති මහජන බැංකුවට ගෙනවිත් භාරදෙන ලෙස මහජන බැංකුව සිය නිල ෆේස් බුක් පිටුවෙන් ගනුදෙනුකරුවන් හා පරිත්‍යාගශිලින්ගෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම අමතක නොකර ඔවුන්ගේ දිවිය දිරිමත් කරන ධනාත්මක ප්‍රාර්ථනාවක් සෑම පොතේම පළමු පිටුවේ ලියන ලෙසටද වැඩිදුරටත් ඉල්ලා සිටින ලදි. 

ශ්‍රී ලාංකිය ඩිජිටල් බැංකුකරණයේ ප්‍රමුඛයා වන මහජන බැංකුව සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් සිදුකළ එම ඉල්ලීමට දිවයිනේ දසතින් ඉහළ ප්‍රතිචාර හිමිවිය. මෙරට ජනතාව දස දහස් ගණනින් පොත් මහජන බැංකුව ශාඛා වෙත පොත් රැගෙන පැමිණියේ මහජන බැංකුව කෙරෙහි තබා ඇති විශ්වාසය නිසාවෙන් සහ දරු දැරියන්ගේ නැණස පුබුදුවාලීමට ඔවුන්ට ඇති  ඕනෑකම නිසාවෙනි. 

මෙම පොත් පත් බෙදාදීමේ උත්සවයේදී පොත් කියවීමෙන් ලබාගන්නා දැනුම මෙන්ම හෙට ලොව අභියෝග ජයගැනීම උදෙසා ඩිජිටල් සාක්ෂරතාවය ඇතිකර ගැනීමේ වැදගත්කම පිළිබදව අවධාරණය කෙරිණි. ඩිජිටල් බැංකුකරණය තුළින් මහජන බැංකුව හදුන්වා දී ඇති People’s Wave mobile app, People’s Wiz, and People’s Web වැනි පහසුකම් පිළිබදවද දැනුවත් කෙරිණි. එමෙන්ම ලංකාවේ මුල්ම වරට 1971 වසරේ පාසල් සිසු සිසුවියන්ට ඉතිරිකිරිමේ පුරුද්ද හුරුකළ මහජන බැංකුව, ශ්‍රී ලාංකේය සිසු පරපුරට ඩිජිටල් බැංකුකරණ අත්දැකිම් ලබාදිමේ අරමුණින් NFC තාක්ෂණයෙන් යුත් මුදල් තැන්පතු යන්ත්‍රයක් සහිත පාසල් බැංකු ඒකකයක්ද 2018 වසරේදී හදුන්වා දෙනු ලැබිය. 

දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වශයෙන් මහජන බැංකුව ආරම්භයේ සිටම මෙරට සිසු පරපුරේ ඉතිරිකිරිමේ පුරුද්ද සහ දැනුම නංවාලීම වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළේය. ශ්‍රී ලංකාවේ මුල්ම වරට 1971 වසරේ පාසල් සිසු සිසුවියන්ට ඉතිරි කිරිමේ පුරුද්ද හුරු කළ මහජන බැංකුව සෑම වසරකම මහජන බැංකුව 5 වසර ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉහළින් සමත්වන සිසු සිසුවියන්ට තිළිණ පිරිනැමීමේ වැඩපිළිිවෙළක් ද ක්‍රියාවට නංවයි. එමෙන්ම පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ගේ දැනුම වර්ධනය කර, අධ්‍යාපනික කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් වර්ෂයක් පාසාම දීප ව්‍යාප්ත ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවක් සඳහාද මහජන බැංකුව අනුග්‍රාහකත්වය දක්වයි. 

"පැතුමක් තෑගි කරමු" වැඩසටහන යටතේ ලැබුනු අනෙකුත් පොත් පත් ඉදිරියේදි දිවයිනේ සෙසු පාසල්වල දරු දැරියන්ට ලබාදීමට නියමිතය. 

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බැංකු මෙහෙයුම්) බොනිෆස් සිල්වා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඩි ජයතිලක, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ අජිත් රාජපක්ෂ , අඹගස්දෝව කුමාරපට්ටිය රාජකීය විද්‍යාලයේ විදුහල්පති එම්. ආරියරත්න, නියෝජ්‍ය විදුහල්පති කපිල ධර්මසේන, මහජන බැංකුවේ බදුල්ල ප්‍රාදේශිය කළමනාකාර මංජුල දසනායක යන මහත්වරුන් සහ ඌව පරණගම ශාඛා කළමනාකාරිනි ඊ. ඒ කල්පනී චන්දිමා යන මහත්මිය සහභාගි වූහ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 November 2019 14:59