April 25, 2024

හිමොෆිලියා රෝගී සේවා සදහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය

ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභ රෝගයක් වශයෙන් සැලකෙන හිමොෆිලියා රෝගීන් හදුනා ගැනීම  සදහා එම රෝගීන් වෙත විශේෂ  ඉලෙක්ට්‍රොනික හැදුනුම් පතක් නිකුත් කෙරේ.තවද එම රෝගීන්ට නිකුත් කෙරෙන  ඹෟෂධ සහ ඔවුන්ගේ සෞඛ්‍ය තොරතුරු විශේෂ  දත්ත පද්ධතියකට ද ඇතුලත් කෙරේ.

මෙමගින්  මෙම රෝගින් හදිසියේ  රෝගයට ගොදුරු වුවහොත් කඩිනමින් ප්‍රතිකාර ලබා දීමට සහ විධිමත් ආකාරයෙන් ඖෂධ ලබා දීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සෞඛ්‍යය අමාත්‍යංශය, ශ්‍රී ලංකා හිමොෆීලියා සංගමය සහ  ශ්‍රී ලංකා රක්ත ව්‍යාධීවේදීන්ගේ සංගමය ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇත.

තවද මේ යටතේ  ලංකාව පුරා දැනට පවත්වාගෙන යනු ලබන හිමොෆිලියා සායනයන් සියල්ලම එකම ජාලයකට එක් කරමින් සෑම රෝගියෙකුටම කාර්යක්ෂම මෙන්ම අඛන්ඩ ‍ප්‍රතිකාර සේවාවක් ලබාදීමට නියමිතය.

හිමොෆිලියා යනු රුධිරයේ කැටි ගැසීමේ පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය සීමාකරන ආබාධයකි. එමෙන්ම මෙය පරම්පරාගත රෝගයක් වන අතර එය පිරිමින්ට පමණක් බලපාන නමුත් කාන්තාවන් දෝෂ සහිත ජාන වාහකයක් ලෙස කටයුතු කරන බවද හදුනාගෙන තිබේ.ලංකාවේ සමස්ථ රෝගීන් ගණන දහසකට ආසන්න වෙතැයි ගණන් බලා ඇත.

මෙම රෝගීන් සුවපත් කිරීම සදහා නිර්දේශිත  ඹෟෂධ වර්ග ඉතා මිල අධික වන අතර එම ඖෂධ නොමිලේ සැපයීමට  සෞඛ්‍ය අමාත්‍යංශය මුල්‍ය ප්‍රතිපාදන වශයෙන්  මාසයකට වැය කරන මුදල රුපියල් මිලියන හයසීයත් අටසීයත්  පමණ වේ.

මෙම සේවාවන් නිල වශයෙන් ආරම්භ කිරීම කොළඹ ජාතික රෝහලේදී සිදුවු අතර එහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා මෙසේ පැවසීය.තොරතුරු සන්නිවේදන තාක්ෂණය සෞඛ්‍ය සේවය සදහා යොදා ගැනීමේදී රාජ්‍ය අංශය ඉතා දියුණු මට්ටමක පවතිනවා.රෝගීන්ගේ තොරතුරු වඩාත් ආරක්ෂාකාරී හා විශ්වාසනීය ලෙස ප්‍රයෝජනයට ගැනීම සදහා නීතිමය පද්ධතියේ වෙනසක් සිදුවිය යුතුව තිබෙනවා.ඒ සදහා වන මුලික කටයුතු දැනටමත් සිදු කර තිබෙනවා.මෙම දත්ත භාවිතා කිරීමෙන් වෛද්‍යය සේවය කර්යක්ෂම කිරීමට  මෙන්ම පර්යේෂණ කටයුතු සදහා යොදා ගැනීමටත් හැකි වෙනවා.

හිමොෆිලියා රෝගීන් සදහා අදාළ හැදුනුම්පත නිල වශයෙන් රෝගීන් වෙත නිකුත් කිරීම හිමොෆිලියා  සායන සදහා ලැප්ටොප් යන්ත්‍ර බෙදාදීම ද මෙහිදී සිදුවිය.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ‍විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ,නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල් පී.කුමාරසිංහ  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඉන්දික ද සොයිසා, නියෝජිතායතනයේ වැඩසටහන් ප්‍රධානී ශ්‍රියානන්ද රත්නායක යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වුහ.

Rate this item
(0 votes)