April 26, 2024

රනිල් වික්‍රමසිංහ නොකවුට්ද? නොටවුට්ද?

අගෝස්තු 20 වැනිදා මෙම ලිපිය පළ වන මොහොත වන විට නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දිවුරුම් දී හමාරය. නව වැනි පාර්ලිමේන්තුව සුවිශේෂතා රැසකින් සමන්විතය. සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ 2/3 බලය ගන්න බැරි බවට තිබූ මතය පොදුජන පෙරමුණ බොරු කර හමාරය. මැතිවරණයට පෙර පාර්ලිමේන්තුවේ සිටි 225ම එපා කියූ පුරවැසියාට අලුත් මුහුණු 77ක් පාර්ලිමේන්තුවට එවීමට හැකියාවද ලැබුණි. මේ සුවිශේෂතා අතරට එක්වූ විශේෂිතම සුවිශේෂිත්වය වන්නේ 1977 සිට අඛණ්ඩව වසර 43ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලන උපක්‍රම වලින් කෙළ පැමිණි පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අන් හැමටම වඩා ‍ප්‍රගුණ කර තිබෙන රනිල් වික්‍රමසිංහ නොමැති පාර්ලිමේන්තුවක් වීමය.

රනිල් වික්‍රමසිංහ ගේ පාර්ලිමේන්තු නියෝජනය අද නොතිබුණද එය හෙට දවසේ තිබේද නැද්ද යන්න ප්‍රකාශ කිරීමට තවමත් ඉක්මන් වැඩිය.ඒ එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය තවමත් ඔහු අත තිබෙන නිසාය.

1977 ජූලි 22 පැවැති මහ මැතිවරණයෙන් එවකට 28 හැවිරිදි වියේ සිටි තරුණ ගැටයකු වූ රනිල් වික්‍රමසිංහ බියගම මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර ඉන් පසු 1989 සිට 2015 දක්වා සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ පැවැත් වූ ඡන්ද හතෙන්ම දිනා පාර්ලිමේන්තුවට ගොඩ විය.

සිය නායකයින් ඝාතනයට ලක් වීමත් සමඟ සෝදාපාළුවට ලක් වූ එක්සත් ජාතික පක්ෂ නායකත්වය 1994 දෙසැම්බර් 13 වැනි දින රනිල් වික්‍රමසිංහට හිමි වුයේ ඒ සඳහා වෙනත් සුදුස්සකු නො සිටි නිසා ය. කොටින්ම රනිල් ගේ පිනට ය. ඉන් පසු ගෙවුණු වසර 26 තුළ එක්සත් ජාතික පක්ෂයේ කරුමය වූයේ රනිල්ගේ මේ පිනය. රනිල්ට පිනට ලැබුණු මේ නායකත්වය හරහා එක්සත් ජාතික පක්ෂය අද සිටින්නේ කනත්තේ ගේට්ටුව ළඟය. දැන් ඉතිරිව තිබෙන්නේ කනත්තෙන් ඇතුල්වී භූමදාන වනවාද නැද්ද යන්න තීරණය කිරීම පමණි.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය ලැබූ පරාජයන් පිළිබඳව මේ රටේ ජනතාව හොඳින් දනිමු. ඒ සම්බන්ධයෙන් තවත් කතා කිරීමෙන් ඵලක් නැත. දැන් බැලිය යුත්තේ රනිල්ගේ මීළග සැලැස්ම කුමක්ද කියාය.

රනිල්ගේ 26 වසරක පක්ෂ නායකත්ව කාලය තුළ පක්ෂය හැර ගිය ජේෂ්ඨයන් පිරිස සියයකට ආසන්නය. "රනිල් එක්ක මේක කරන්න බැහැ" කියා ඔවුන් එලියට බැස්සේය. "මොකා ගියත් මම නායකත්වයෙ ඉන්නවා" කියන පදනම රනිල්ගේ ස්ථාවරය විය. තමන්ගෙ නායකත්වයට එරෙහිව එල්ල වූ කැරලි පහක්ම රනිල් මර්දනය කළේ සිය සූක්ෂ්ම දේශපාලන ඥානය පාවිච්චි කරමිනි.

එහෙත් 2020 මහ මැතිවරණය අරබයා සිදුවූයේ රනිල් බලාපොරොත්තු නොවූ දෙයකි. ඉවසලා ඉවසලා බැරිම තැන සජිත් ප්‍රේමදාස වසර 74 ක එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ ලොකුම පළුව ගලවා ගෙන ගියේය. 1990 ගණන් වල ප්‍රේමදාස ජනපතිවරයාට එරෙහිව ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැන්නවුන් ගෙන ගිය අරගලය මෙන් අවසානයේ දී මෙයත් දිය වෙතැයි සිතුවේය. බහුතර පාක්ෂිකයා අලියා අත් නොහරිතැයි යන විශ්වාසය රනිල් තුළ තදින් විය. එහෙත් සිදු වූයේ අනෙකකි. මුළු රටින්ම ගත හැකි වූයේ ඡන්ද 249435කි. එනම් 2.15%කි. එය ජනතා විමුක්ති පෙරමුණ මුල් වූ ජාතික ජනබලවේගයේ 3% ටත් වඩා අඩුය. රටින්ම පත් වූයේ 4 වන ස්ථානයටය. එක්‌ මන්ත්‍රීධූරයක් වත් ජන්දයෙන් දිනා ගැනීමට හැකි වූයේ නැත. යාන්තමට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරයක් පමණක් ඉතිරි විය.එක්සත් ජාතික පක්ෂය සිය දේශපාලන ඉතිහාසයේ මුහුණ දුන් දැවැන්තම පරාජයට රනිල් නායකත්වය දුන්නේ මෙන්න මේ ආකාරයටය.

මෙවර ද තමාගේ නායකත්වයට එරෙහි සුපුරුදු කැරැල්ල පැමිණෙනු ඇති බව රනිල් ඉවෙන් මෙන් කල් තියා දැන ගෙන සිටියේය. අගෝස්තු 6 වැනිදා ඇති වූ කැරැල්ල දින අටක් තුළ මර්ධනය කිරීමට රනිල් සමත් විය. අගෝස්තු 14 වැනිදා වන විට යළි නායකයා රනිල්ය. ඒ සඳහා ඔහු නොබියව භාවිතා කළේ සිය සුපුරුදු දේශපාලන උපක්‍රමය. රනිල් නායක සටනට මුලින් දෙන්නෙක් දැම්මේය. ඉන්පසු එය හතරක් බවට පරිවර්තනය කරන ලදී. ඊට පසු නායක සටනට 8 දෙනෙකු දැම්මේය. අවසානයේ කරු ජයසූරියට ද රනිල් ආරාධනා කරන ලදී. තමන්ගේ ආරාධනයට ආ කරුට වජිර දමා ගැසුවේය. අන්තිමට රනිල් කිව්වේ දැනටමත් බිද වැටී තිබෙන පක්ෂය නායකකමට බෙදී තරඟ කළහොත් තවත් වලපල්ලට යන බවය. ඒ නිසා තමා විසින් ම පත් කරන ලද කෘත්‍යාධිකාරී මණ්ඩලය හරහා ලබන වර්ෂයේ මුල පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය තෙක් තමාම නායකත්වයේ සිටීම සුදුසු බවට යෝජනා සම්මත කර ගන්නා ලදී.දැන් රනිල්ගේ නායක ප්‍රශ්නය විසඳී අවසන්ය. ඉතිරි වී තිබෙන්නේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්නේ කෙසේද යන සැලැස්ම ක්‍රියාත්මක කිරීම පමණි.

දැන් රනිල් එයද ක්‍රියාත්මක කරමින් සිටී. ජාතික ලැයිස්තුවේ මුලින්ම සිටින්නේ රනිල් හා සමාන ජේෂ්ඨත්වයක් තිබෙන ජෝන් අමරතුංග ය. හරි නම් ජාතික ලයිස්තුව දිය යුත්තේ ඔහුට ය. එහෙත් රනිල් ඊටද කීප දෙනෙකුගේ නම් යෝජනා කිරීමට කටයුතු කරන කළේය. වජිර අබේවර්ධන තමන්ට ලැයිස්තු ඕන බව රනිල්ගේ වුවමනාවට කීවේය. පසුව ඔහුගේ සුවච ගෝලයා වූ අකිල විරාජ් කාරියවසම් පක්ෂ ලේකම්වරයාට ද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යාමට අවශ්‍ය බව කියන්නට කීවේය. අකිල විරාජ් කාරියවසම් එම වැඩපිළිවෙල තවත් ඉදිරියට ගෙන යමින් ජාතික ලැයිස්තුවට තමන් තමන්ගේම නම දමා ගන්නා බව ප්‍රසිද්ධියේම කීවේය. එය රනිල්ගේ අනුදැනුමකින් තොරව සිදු වූයේ යැයි සිතිමට නොහැකිය. අවසානයේ රනිල් කළේ තමා දැනුම් දෙනතුරු කිසිවකු ජාතික ලැයිස්තුවෙන් පත් නොකරන ලෙස මැතිවරණ කොමිසමට ලිපියකින් දැනුම් දීමය. මැතිවරණ නීති ප්‍රතිපාදනවලට අනුව එවැන්නක් කිරීමට පක්ෂ නායකයා බලය තිබේ. සුප්‍රකට දේශපාලන උපක්‍රමවලින් සමන්විත රනිල් අවසානයේ එම ප්‍රතිපාදනය පාවිච්චි කොට ජාතික ලැයිස්තුව පත්කිරීමේ බලය දැන් තමන් අතට ගෙන හමාරය. දැන් අවශ්‍ය විටක එම මන්ත්‍රීධූර සඳහා රනිල්ට තමන්ගේම නම යෝජනා කිරීමේ කිසිදු බාධාවක් නොමැත.

හැමෝම සිතුවේ මෙවර සිදු වූ දරුණු පරාජයෙන් පසු රනිල් නොකවුට් කියාය. මැතිවරණය අවසන් වී සති දෙකක් යන්නටත් මත්තෙන් රනිල් තමන් තවමත් නොටවුට් බව ක්‍රියාවෙන්ම ඔප්පු කර හමාරය.

මෙතරම් දරුණු පරාජයකට එක්සත් ජාතික පක්ෂය ලක්වුවද පක්ෂ නායකත්වයෙන් රනිල් ඉවත් නොවන්නේ මන්දැයි සොයා බැලීම වටී.ඒ සඳහා ඉතිහාස කතාවක් ද තිබේ. රනිල්ගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහ ප්‍රබල ක්‍රියාකාරී වාමාංශිකයෙකි. ඔහු යූඑන්පී වන්නේ විවාහයත් සමග ය. සම්ප්‍රදායික වම වන ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ යන පක්ෂවල නායකයන් මිය යන තෙක්ම එම නායකත්වයේ සිටීම සම්ප්‍රදායකි.

1935 බිහි වූ ලංකා සමසමාජ පක්ෂයේ නායකයා ලෙස ආචාර්ය ඇන් ඇම් පෙරේරා 1979 මිය යන තෙක්ම සිටියේය.වසර 44 ක් පක්ෂ නායකත්වය දරා අවසන් වන විට පක්ෂ සිටියේ මතවාදාත්මකව හා ප්‍රමානාත්මකව අන්තයට පිරිහුණු තැනකය. ඉන්පසු ඔවුන් යැපුණේ මැතිනියගේ හා චන්ද්‍රිකාගේ සාරි පොටේ එල්ලිගෙනය. දැන් යැපෙන්නේ මහින්දගේ සාටකයේ එල්ලිලාය. අද රනිල් සිටින්නේ එදා එන්.එම් හිටපු තැන ය. ඒ කියන්නෙ තමන්ගෙ අභාවයත් සමග එක්සත් ජාතික පක්ෂයත් අභාවයට යා යුතුය කියන සම්ප්‍රදායික වාමාංශික මතවාදයේය.

(මංජුල බටුගෙදර)


Rate this item
(1 Vote)
Last modified on Monday, 12 October 2020 16:17