April 23, 2024

වැදගත් වන්නේ STF ගෞරවයද? පුරවැසියාගේ ජිවත් වීමේ අයිතියද?

1866 සැප්තැම්බර් 3 වැනි දින ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳව පුරවැසියාගේ ප්‍රසාදයක් නොමැති බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් 1983 දී ශ්‍රී ලංකා පොලීසියට අලුතින් එක් කරන ලද පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) පිළිබඳ ව ජනතාව තුළ තිබෙන්නේ දැඩි ප්‍රසාදයකි. ඒ ඔවුන් බෙදුම්වාදී යුද්ධයේදී දැක්වූ සක්‍රීය දායකත්වය මෙන්ම විශේෂයෙන්ම රාජකාරි කටයුතුවල දී අවංකව, එඩිතරව, ක්‍රියාශීලිව, අත්වැරදීම් වලින් තොරව හා නිවැරදිව ඉලක්කය වෙත හඹා ගොස් කටයුතු කරන නිසාය. එකම දෙපාර්තමේන්තුවක අංශ දෙකක් පිළිබඳව එකිනෙකට පරස්පර මතයක් ජනතාව තුළ තිබීම ද විශේෂත්වයකි.

මත්ද්‍රව්‍ය පිටුදැකීමට ස්ථාපිත කොට තිබෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ නියැලී සිටීම පිළිබඳ පසුගියදා සිදු කෙරුණු හෙලිදරව්ව පුරවැසියාගේ පුදුමයට හේතුවක් නොවූයේ කොහොමටත් ශ්‍රී ලංකා පොලිසිය ජරාවට බර, පගාවට බර, හිතවත්කම්වලට බර, දේශපාලනයට ගැති අන්ත පිරිහුණු ආයතනයක් බව අත්දැකීමෙන්ම දන්නා නිසාය.

මත්කුඩු ඇල්ලීමට පිහිටුවා තිබූ කාර්යාංශයේ සේවකයින් මත්කුඩු ව්‍යාපාරයේ යෙදීමේ වරදට මේ වන විට එම කාර්යාංශයේ නිලධාරීන් දහතුන් දෙනෙකු සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාර ගතවය.

ඇතැම් මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළදී පැකට් කර ජාවාරම්කරුවන්ට අලෙවිකර වැටුපට අමතරව අමතර මුදලක් උපයා ගැනීමේ තැනටම වැඩේ දුරදිග ගොස් තිබිණි.

අප ලිපිය ආරම්භයේ සඳහන් කළ ජනතාවගේ ගෞරවය හා ප්‍රසාදය දිනා සිටි ශ්‍රී ලංකා පොලිසියට අනුයුක්ත STF හි ඇතැම් නිලධාරීන් මත්කුඩු ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු හෙළිදරව් වීම බරපතළ තත්ත්වයකි.

"නියත ජය" ආදර්ශ පාඨය යටතේ 1983 දී ජේෂ්ඨ පොලිස් අධිකාරි ධර්මසිරි වීරකෝන් යටතේ ආරම්භ කරන ලද STFයට විශේෂ මෙහෙයුම්, අභ්‍යන්තර ආරක්ෂාව, ත්‍රස්තවාදය මැඩලීම, ප්‍රභූ ආරක්ෂාව, බෝම්බ සෙවීම හා නිෂ්ක්‍රිය කිරීම, ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම, නීතිය බලාත්මක කිරීම යන වගකීම් පැවරී තිබුණි.

එම වගකීම් අතුරින් විශේෂ මෙහෙයුම් හා නීතිය බලාත්මක කිරීම යන කරුණු මත STFයට මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ වගකීම ද පැවරී තිබුණි.

STFහි ඇතැම් නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මුදලට ආරක්ෂාව ලබාදී ඇති බවට අනාවරණයක් ඉකුත් 21වන දින අධිකරණයේ දී සිදුවිය. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිජෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තාවක් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන බව ය.

වාර්තා වන අන්දමට එම සිදුවීම් පෙළ මෙසේ ය.

අද රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදා ඩුබායිහි සිටි කාලයේ පාකිස්තානයෙන් එවන ලද හෙරොයින් කිලෝ ග්‍රෑම් 80 කින් කිලෝ  ග්‍රෑම් 40 ජාවාරම්කරුවන්ට ලබා දී ඉතිරි කිලෝ ග්‍රෑම් 40ට  රසායන ද්‍රව්‍ය එකතු කර කිලෝ ග්‍රෑම් 80ක් වන සේ සකසා තිබේ.

අදාල මත්කුඩු තොගය තිබු මෝටර් රථය රාජගිරිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක රථ ගාලක තිබියදී අත්අඩංගුවට ගෙන ඇත. එම තොරතුරු වෙලේ සුදා ඩුබායි සිට STF නිලධාරීන්ට දුරකතනයෙන් දන්වා ඇති අතර එම දුරකථනයෙන්ම අදාල මෝටර් රිය රැගෙන යෑමට පැමිණි දෙදෙනාටද වෙලේ සුදා කතා කර තිබේ.

මේ සම්බන්ධයෙන් වූ සියලු තොරතුරු හා තාක්ෂණික තොරතුරු දුරකථන දත්ත සමගින් මෙම ජාවාරම සම්බන්ධයෙන් සැකසූ ලිපිගොනුවක් ඉහළ පෙළේ පොලිස් නිලධාරියකුට මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් 2013 වසරේදී ලබා දීමේදී එම නිලධාරියා සඳහන් කර ඇත්තේ මේ තොරතුරු හෙළි වුවහොත් එය පොලිස් විශේෂ කාර්ය බලකායේ කීර්තිනාමයට හොඳ නැති බව ය.

මත්කුඩු ජාවාරම මිනී මැරීම, මංකොල්ලකෑම, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර වැනි දරුණු ගණයේ අපරාධ සියල්ලටම වඩා භයානකය. කුඩු රටක තරුණ පරම්පරාව තරුණ වයසේදීම සදාකාලිකවම ජීවත්වෙන මලමිණී බවට පත් කරන ගෙදර දොර, අහල පහල බඩු සොරා ගෙන තුට්ටු දෙකට විකුණා කුඩු ගැසීමට මුදල් සෙවීම දක්වා විහිදුණු සංකීර්ණ ක්‍රියාදාමයකි.

එවැනි සංකීර්ණ ක්‍රියාදාමයක නියැලී ආයතනයක ගෞරවය රැකීම වස් සමස්ත රටක අනාගතය ප්‍රාණ ඇපකාරත්වයට පත්කිරීම අපරාධයකටත් වඩා දේශද්‍රෝහී කටයුත්තකි.

2013 වර්ෂයේදී ආරම්භ වී 2017 වර්ෂයේ සිට සක්‍රීයව ක්‍රියාත්මක වූ STF මත්කුඩු ජාවාරම සත් වසරක් පුරාවට ව්‍යාප්ත වීමට ඉඩ දී බලා සිටි වගකිව යුතු නිලධාරින්ට මරණිය දණ්ඩනයෙන් මෙහා දිය යුතු දඬුවමක් නොමැත.

2013 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව ඒ අවස්ථාවේදීම ලැබුණු තොරතුරුවලට අනුව කටයුතු කළේ නම් නියපොත්තෙන් කැඩීමට තිබුන දේ පොරවෙන් කැපීමට සිදුවන තත්ත්වයට පත්වන්නේ නැත. එය ලප් තැනම ලොප් කිරීමට ද හැකි වනු ඇත.

දැන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සිටින්නේ රෙදි ගලවා ගෙනය. ඒ අංශය ගැන ජනතාවගේ කිසිදු විශ්වාසයක් නොමැත.පොලිස් විශේෂ කාර්ය බලකායද දැන් පත්ව තිබෙන්නේ ඒ තත්වයටම ය.

(මංජුල බටුගෙදර)

Rate this item
(3 votes)
Last modified on Thursday, 23 July 2020 08:52