March 29, 2024

ගෙදර අඹුව කන්ට්‍රෝල් නැති සජිත්ට රට කන්ට්‍රෝල් කළ හැකිද?

ප්‍රියන්ත පතිරණ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයෙකි. ඔහු සමඟ ඒෂියන් මිරර් වෙබ් අඩවිය සඳහා පැවැත්වූ සාකච්ඡාවේදී එක රැයකින් යුද හමුදාවේ තුන්දාහක් තමා මැරූ බවත් තමා කොරෝනාවට වඩා භයානක බව කියන්නට ගොස් කට වරද්දාගත් කරුණා අම්මාන් කොටි සංවිධානයෙන් කැඩුණු අයුරු පිළිබඳ මෙතෙක් සැඟවුණු හෙලිදරව්වක් ද කරන ලදී.

පතිරනගේ හෙළිදරව්වට අනුව කරුණා කොටි සංවිධානයෙන් කැඞීමේ අඩිතාලම දමා තිබුණේ අන් කවුරුවත් නොව ඔහුගේ බිරිඳය. ප්‍රභාකරන් නිරන්තරයෙන්ම කරුණා තමාව අභිබවා යැයි යන සැකය මත ඔහුගේ බිරිඳ රඳවාගෙන සිට තිබෙන්නේ මුලතිව්හිය. එහිදී ප්‍රභාකරන් විදින සුඛෝපභෝගී ජීවිතයත් සිය සැමියා ඇතුළු කොටි සංවිධානයේ සාමාජිකයන් විදින දුකත් දුටු කරුණාගේ බිරිඳ ඒ බව කරුණාට තේරුම් කර දීම කරුණා කොටින්ගෙන් කැඩීමේ මූලික අඩිතාලම බව පතිරණගේ අදහසයි.පතිරණ මේ කරුණු හෙළිදරව් කරන්නේ කරුණා කොටින්ගෙන් කැඩී මේ වැඩපිළිවෙළේ සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කළ කෙනෙකු ලෙසය. මෙම සිදුවීම පතිරණ අවසන් කළේ අපුරු කියමනකිනි. කරුණා කොටින්ගෙන් කැඩුනෙ අන් කවරෙකුගේවත් දක්ෂතාව නිසා නොව ගෑණු හුටපටයක් නිසා බවය. කාන්තාව එදා සිටම මෙරට දේශපාලනයේ තීරණාත්මක වෙනස්වීම් කිරීමට මුල් වූ බව පතිරණගේ අදහසයි.

දේශපාලනයේදී කාන්තාවගේ මැදිහත්වීම ගැන මෙම හැඳින්වීම කලේ මේ දිනවල කතාබහට ලක්වන තවත් දේශපාලන බිරිඳක් නිසාය.

ජලනි ප්‍රේමදාස, සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය නායකයාගේ සදා ආදරණීය බිරිඳ ය. එක්සත් ජාතික පක්ෂය මෙන්ම ඉන් කැඩී ගිය සමගි ජනබලවේගයේ අති බහුතරයක් දන්නා ප්‍රසිද්ධ රහසක් වන්නේ සජිත් මෙහෙයවන රිමෝටය ජලනි බවය.

ජලනි ගැන කියවෙන ආසන්නම සිද්ධිය සමගි ජනබලවේගයේ කාන්තා පෙරමුණ පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවේ සජිත් ලග සිටි හිරුනිනා ප්‍රේමචන්ද්‍ර එතනින් නැගිටුවා වෙනත් තැනකින් වාඩි කරවීමේ සිදුවීමය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දේශපාලන චරිතයකි. ජලනි නිකම්ම නිකම් කාන්තාවකි. දේශපාලන චරිතයක් නොවේ. එහෙත් එම සිදුවීම පිටුපස පරණ ඇරියස් එකක් තිබූ බව පැහැදිලිය. රන්ජන් රාමනායකගේ  සුප්‍රසිද්ධ දුරකථන හඬපට ගබඩාවේ තිබී අසු වූ පසු සමාජයේ ප්‍රසිද්ධ වූ රන්ජන් - හිරුනිකා දුරකථන කතාබහකදී ජලනිගේ ආර්යාව කතාවට හිරුණිකා කියන කතාවය. හිරුණිකා එහිදී කියන්නේ ජලනිගේ ආර්යාව කතාවෙන් සජිත්ට තිබ්බ ජන්ද ටිකත් නැති කලා කියාය.

සජිත් මුලින්ම පාර්ලිමේන්තු එන්නේ 2001 වර්ෂයේ දී ය. ඒ වන විටත් සජිත් ජලනි සමග විවාහ වී සිටියේය. එදා සිට අද දක්වාම සජිත් මෙහෙයවන හස්තය ජලනිය. සජිත් ලවා යම් කටයුත්තක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් එය ජලනි හරහා සජිත්ට කීමෙන් ඉටු කර ගත හැකි බව ප්‍රකට කරුණකි.

ජලනි ප්‍රේමදාස භූමිකාව වඩාත් ප්‍රසිද්ධියට පත් වන්නේ සජිත් ප්‍රේමදාසට ඉකුත් ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට ගත් තීරණයත් සමඟය. සජිත් ප්‍රේමදාසට ජනපති අපේක්ෂකත්වය දීමටත් පෙර "මම මේ ඔබ අමතන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව" ලෙස රැස්වීමකදී කරන ලද ප්‍රකාශයක් නිසාය. මෙම ප්‍රකාශය නිසා ඇය සමාජයේ විරෝධයට මෙන් ම හාස්‍යයට ද ලක්විය. එය නිවැරදි කිරීමට ගොස් එදා එක්සත් ජාතික පක්ෂයේ සිටි බොහෝ අය ඉල්ලගෙනම නාගත්තේය.

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ සියලු මුදල් කටයුතු භාරව සිටියේ ජලනි ප්‍රේමදාස ය. ඒ සඳහා ඇයට කැසිනෝ ලකී නමැත්තෙකුගේ උදව් උපකාරද ලැබුණි. ජනාධිපතිවරණ ව්‍යාපාරයට ලැබෙන මුදල් ජලනි භාර ගැනීම සිදු කළ ද ජනාධිපතිවරණයෙන් පසු සජිත් කිව්වේ තමා ජනාධිපතිවරණය නිසා ණය කාරයෙකු වූ බවය. අලුතින් ගොඩ නගන ලද සමගි ජනබලවේගයේ නියෝජ්‍ය නායකකම හෝ සභාපතිකම ජලනිට දෙන බවට පහුගිය කාලයේ මතයක් ගොඩ නැගුනේ ද සජිත්ගේ දේශපාලනය අරබයා ජලනි විසින් සිදු කරන ප්‍රබල මැදිහත් වීම නිසාය.

සජිත් ප්‍රේමදාස දැන් සමගි ජන බලවේගයේ නායකයාය. ඊට පෙර සිටියේ එක්සත් ජාතික පක්ෂයේය. එහි නායකයා රනිල් වික්‍රමසිංහය. රනිල්ට කවුරුත් කුණු බැනුම් බැන්නත් ඔහුගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහට කවුරුත් බනින්නේ නැත. ඒ ඇය නිල වශයෙන් රනිල් වික්‍රමසිංහගේ කටයුතුවලට මැදිහත් වනවා මිස ඉන් එහාට කිසිම දෙයකට සම්බන්ධ නොවන නිසාය. අප දන්නා විදියට ඇය විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරියකි. වැඩ ටික කරගෙන ඇය තමන්ගේ පාඩුවේ සිටි. ඒ අතින් බලද්දී මෛත්‍රි - ජලනි අහසට පොළොව වැනිය.

සජිත් ජන බලවේගය හදා එහි නායකයා වුණේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකකම දුන්නේ නැති නිසාය. බලං යනකොට රනිල් එක්සත් ජාතික පක්ෂ නායකකම සජිත්ට දුන්නේ නැති එක නිවැරදිය. දුන්නා නම් එක්සත් ජාතික පක්ෂයේ නිල නොවන නායකයා වන්නේ සජිත් නොව ජලනිය. එක්සත් ජාතික පක්ෂය මෙහෙයවන නොපෙනෙන හස්තය වන්නේ ජලනිය.

ලැබෙන තොරතුරු වලට අනුව සජිත්ට ගෙදර අඹුව කන්ට්‍රෝල් නැත. එළඹෙන මහ මැතිවරණයේදී සජිත් ඉල්ලන්නේ රටේ අගමැති කමය. ඒ කියන්නේ ජනතාව පාලනය කිරීමේ බලයයි. තිබෙන දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලවත්ම තනතුර අගමැතිකමය. ගෙදර කන්ට්‍රෝල් නැති සජිත්ට රට කන්ට්‍රෝල් කිරීමට හැකිද යන්න ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නයට අගෝස්තු පස් වැනිදාට ජනතාව නිසි පිළිතුරක් දෙන බව නිසැකය.

ඕනෑම සාර්ථක පිරිමියෙකු පිටුපස සිටින්නේ ගැහැනියක යැයි කතාවක් තිබේ. එහෙත් සජිත්ට සිදුවී තිබෙන්නේ එහි අනිත් පැත්තය. සජිත්ගේ අසාර්ථකත්වය පිටුපස සිටින්නේ ද ගැහැනියකි. 

අප මෙම ලිපිය පටන් ගත්තේ කරුණාගේ බිරිඳ ගැන සටහනකිනි. ඇයට පොතපතින් එතරම් උගත්කමක් නොතිබෙන්නට පිළිවන. එහෙත් ඇය ප්‍රභාකරන් කියෙව්වූ ආකාරයෙන්ම මෙන්ම කරුණාට ඒ පිළිබඳව ඒතුඋගැන්වූ ආකාරයට සමාජය කියවීම අතින් උපාධිධාරිනියක් නම් බව පැහැදිලිය. තමාට ඒ කිට්ටුවටවත් ඒමට නොහැකි බව ජලනි ප්‍රේමදාස සිය ක්‍රියාවෙන්ම ඔප්පු කර හමාරය.

(මංජුල බටුගෙදර)


Rate this item
(0 votes)
Last modified on Friday, 17 July 2020 15:22