April 20, 2024

"කලකදි රහ අද වහලු" - කරුණා අම්මාන් කතා වස්තුව

"කලකදි වහලු කලකදි රහ වෙනවාලු" මේ අපේ පැරැන්නන්ගේ කියමනකි. පැරැන්නන් එම කියමන කිව්වේ කට කහනවට නොව ගැඹුරක්‌ අරුතක් ඇතිව ය. මෙම කියමන අදට ගැළපෙන සේ පොඩි සංශෝධනයක් කළ යුතුව තිබෙන්නේ "කලකදි රහ කලකදි වහ වෙනවාලු" වශයෙනි. ඒ එම කියමනට සැබෑ උරුමක්කාරයකු අද සිටින නිසාය. ඒ විනයාගමූර්ති මුරලිදරන් නොහොත් අප කවුරුත් දන්නා කරුණා අම්මාන්ය.

මහ මැතිවරණ අපේක්ෂකයකු වන කරුණා අම්මාන් දැන් සිටින්නේ කට වරක් දාගෙනය. මඩකලපුව ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලඥයකු කරුණා කොරෝනාව ටත් වඩා භයානක බවට කළ ප්‍රකාශයට උත්තර බඳින්නට ගොස් ය. එහිදී තමන් කොරෝනාවටත් වඩා භයානක බවත් කොරෝනාවෙන් මියගියේ නවදෙනකු බවත් තමා එක රැයකදී අලිමංකඩ දි හමුදා සෙබළුන් තුන්දාහකට වඩා වැඩි ප්‍රමාණයක් මරා දැමූ බව කරුණා මාධ්‍ය ඉදිරියේ කිව්වේ උජාරුවෙනි.

කරුණා අලිමංකඩ දී පමණක් නොව මීට වසර 33කට පෙර අරන්තලාවේ දී භික්ෂූන් වහන්සේලා 31 නමක් අමු අමුවේ ඝාතනය කළ බවත් බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ බඳු දළදා මාලිගාවට බෝම්බ ගැසූ බවත් අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරියේ පෝදා සිල් සමාදන් වූ බෞද්ධ උපාසක උපාසිකාවන් වෙඩි තබා ඝාතනය කළ බවත් යටත් වූ පොලිසියේ 600ක් දණගස්වා වෙඩි තබා ඝාතනය කළ බවත් රටම දන්නා කරුණකි.

කරුණා කොටි සංවිධානයෙන් කැඞී කොටින්ට එරෙහිව ශ්‍රී ලංකා රජයට පක්ෂපාතී වීම මත ඒ අමිහිරි අතීතය අකමැත්තෙන් වුවත් අමතක කිරීමට මෙරට පුරවැසියාට සිදුවිය. එහෙත් එම සිද්ධියෙන් මරණයට පත් පවුල්වල සාමාජිකයන් අදටත් ඒ ඛේදජනක සිද්ධින් සිහිපත් කරමින් මැරි මැරී උපදින බවද කිව යුතුය. කරුණා කළේ ඒ අමිහිරි අතීතය යළි ජීවමාන කිරීමය. යාන්තමට වෙළුම් පටි දමා තිබූ තුවාලය යළි පෑරීමය.

කරුණා කොටි ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන්ට පොල්ල තිබ්බේ 2004 මාර්තු තුන් වෙනිදා ය. ඒ වන විට කරුණා විසි වසරකට වැඩි කාලයක් කොටි සංවිධානයේ සාහසික ක්‍රියාවලට නායකත්වය දී තිබීම මත ඔහු හැඳින්වූයේ ප්‍රභාකරන්ගේ දෙවනියා ලෙසය. නැගෙනහිර නායකයා ලෙස ය.

ශ්‍රී ලංකා රජය කරුණා කොටින්ගෙන් කැඩීමට සෑහෙන වෙහෙස මහන්සියක් දැරිය. ඒ සඳහා කරුණාගේ දුර්වලතා දෙකක් ප්‍රයෝජනයට ගැනුණි. ඉන් එකක් කරුණා මුදලට ඇති කෑදර කම ය. ඔහු කොටි සංවිධානයෙන් වෙන්වූයේ නැගෙනහිර කොටි ගිණුමේ රුපියල් මිලියන 140 කුත් අරගෙනය. දෙවැන්න ඔහු විවාහ වී දරුවන් තිදෙනකු සිටිය ද දැඩි ස්ත්‍රී ලෝලියකු වීමය. 2001 දෙසැම්බර් පස් වැනිදා පැවැති මහ මැතිවරණයෙන් බලයට පත් රනිල් වික්‍රමසිංහ රජය කොටි සමග ගැසූ සාම ගිවිසුමට අනුව තායිලන්තයේ බැංකොක් නුවරදී සාම සාකච්ඡා වටයක් පැවැත්විණි. කරුණා ද ඊට කොටි පැත්තෙන් සහභාගි විය. එහිදී ඊට සහභාගි වූ අපේ ආණ්ඩුවේ ඇත්තෝ කරුණාට අවශ්‍ය කම්සැප සපයනු ලැබීය. කරුණා ඉන්දියාව හැර වෙන රටකට ගිය පළමු අවස්ථාව මෙය විය. මෙතරම් සැපක් ලෝකේ තිබෙද්දී කැලෑවකට වෙලා තමන් ගෙවන්නේ මොන ජීවිතයක් ද යන්න කරුණාට තේරුම් ගියේය. ඔහුට එය තේරුම් ගියාට වඩා ශ්‍රී ලංකා රජය ඔහුට එය තේරුම් යන්නට අවශ්‍ය විදියට පසුබිම සකස් කළා යැයි කීම නිවැරදිය.

මේ කොටින්ගෙන් කැඩුන කරුණා අම්මාන් ගේ ඉතිහාස කතාවෙන් බිඳක් ය. රනිල් වික්‍රමසිංහ කරුණා කොටින්ගෙන් කැඩුවද ඔහු වඩාත් සමීප වූයේ මහින්ද රාජපක්ෂට ය. කරුණාගේ එම සමීප භාවය නතර වූයේ 2009 අප්‍රේල් 29 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති වෙලාය. එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට දෙවතාවක්ම පත් වීමෙන් ය. ඇමතිවරයෙකු වීමෙන්ය.

කරුණා කොටින්ගෙන් කැඩුනද ඔහුගේ සාහසික ක්‍රියාවල අඩුවක් නොතිබුණු බව ප්‍රකට ය. තමන් සමග කොටින්ගෙන් කැඩුණු පිල්ලෙයාන්ව මරන්න හෙව්වේ මුදල් ප්‍රශ්නයක් මුල්කරගෙනය. කීර්තිමත් රණවිරුවකු වූ ජානක පෙරේරා 2008 වර්ෂයේ උතුරු මැද පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලා විපක්ෂ නායක විය. 2008 ඔක්තෝම්බර් මස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජානක පෙරේරා,ඔහුගේ බිරිඳ හා දොස්තර ජෝන් පුල්ලෙ ඇතුළු දහයකට වැඩි පිරිසක් අනුරාධපුරයේ දී මිය ගියේය. එහි ගිණුම කොටි සංවිධානයට බැර වුවද මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය කරුණාගේ වැඩක් බව බහුතරයකගේ අදහස විය.

මෙහෙම කරුණා දැන් පත්තු කර තිබෙන්නේ එසේ මෙසේ බෝම්බයක් නොවේ. ඔහුගේ අනවශ්‍ය අදහස් දැක්වීමෙන් අමාරුවේ වැටී තිබෙන්නේ කරුණා කොටින්ගෙන් කඩපු එක්සත් ජාතික පක්ෂය නොව කරුණාට කිරි පොවා හදා වඩා ගත් රාජපක්ෂ කඳවුරය. කළ ඝාතන පිළිබඳව ඝාතකයා විසින් ම පිළිගැනීම ට වඩා වටිනා තවත් සාක්ෂියක් නොමැති බව රාජපක්ෂ විරෝධී කඳවුරේ මතය වී තිබේ. මේ නිසාම කරුණා අම්මාන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස සමස්ථ විපක්ෂයම එක හඩින් කෑ මොර දෙමින් සිටී.හරි හමන් මැතිවරණ සටන් පාඨයක් නොමැතිව ආතක් පාතක් නැතිව සිටි විපක්ෂයට කරුණා දැන් ඵලදායි සටන් පාඨයක් වී තිබේ. ඒ හරහා රාජපක්ෂ කඳවුරේ ජාතිකත්වයට ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට හැකි නිසාය. කොටි ත්‍රස්තවාදය පරාජය කළ යුද හමුදාවට නායකත්වය දුන් සරත් ෆොන්සේකා කියන්නේ කරුණා එල්ලුම්ගස් යැවීමට තරම් ඔහුගේම සාක්ෂිය ප්‍රබල බවය.

පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් කියන්නේ කරුණාගේ දෙමළ එක්සත් නිදහස් පෙරමුණ සමග කිසිදු සම්බන්ධතාවයක් තම පෙරමුණට නැති බව ය. එහෙත් කරුණා කියන්නේ තමන්ට මෙවරද ජාතික ලැයිස්තුවෙන් එන ලෙස මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ආරාධනා කළ බව ය. මැතිවරණයෙන් පසු රාජපක්ෂලා සමග එකතුවීම මොන ජගතෙකුටවත් නතර කළ නොහැකි බව ද කරුණා යළි යළිත් අවධාරණය කරමින් සිටී.

දැන් පොහොට්ටුවේ මහත්තුරු කරුණාට විවිධ ඇඳුම් අන්දමින් ඔහුව මෙම උගුලෙන් බේරා ගැනීමට උත්සාහ දරමින් සිටී. එහි මූලිකත්වය ගෙන තිබෙන්නේ විමල් වීරවංශය. අජාසත්තට සමාව දුන්නා නම් කරුණට සමාව දෙන්න බැරි ඇයි දැයි විමල් අසයි. එය සාධාරණය. විමල්ට ද කරුණා හා සමාන අතීතයක් තිබුණු බව ප්‍රකට කරුණකි. ඒ ඉතිහාසය මතක් වී විමල් මෙවැනි කතා කියනවා විය හැකිය. එස් බී දිසානායක කරුණාට අන්දන්නේ ආණ්ඩුවේ සාක්ෂිකරුවෙකු ඇඳුමක් ය. නාමල් රාජපක්ෂ තරුණයා කියන්නේ කරුණා රෑට ආප්ප කා උදේ පිටිපස්සෙන් පිහියෙන් ඇන්නා වගේ වැඩක් නොකළ කෙනෙක් බව ය. කොටින්ට විරුද්ධව ප්‍රසිද්ධියේම සිටි බව නාමල් රාජපක්ෂගේ අදහස වී තිබේ.

තත්වය කෙතරම් බරපතළ වී දයත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට ජාතිය අමතා කළ කතාවේදී කරුණාගේ ප්‍රකාශය වැනි සිල්ලර දේවල් ඡන්ද දීමේදී ගණන් ගන්න එපා යයි පුරවැසියාගෙන් ඉල්ලීමක් කිරීමටද සිදුවිය. ඒ ව්‍යාප්ත වෙමින් තිබෙන කරුණා වසංගතය අවසන් වන්නේ කොතැනින් දැයි දේශපාලනයේ හොඳට තෙම්පරාදු වූ මහින්ද රාජපක්ෂ දන්නා නිසාය. තමන් විසින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු කළ කරුණා ගැන ඊට වඩා යමක් කීමට අග්‍රාමාත්‍යවරයා වුවත් ඔහුට ද බැරි ය.

කරුණාගේ ප්‍රකාශයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ද ඇඳිවත ගැල වී තිබේ ඔවුන් පුරා වසර 11 ක්ම ශ්‍රී ලංකා යුද හමුදාව කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී දෙමළ ජනයාගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට විවිධ කොමිසම හරහා කරන චෝදනාවන්ට කරුණාගේ ප්‍රකාශයෙන් එල්ල වූ අභියෝගය නිසා ය. එම සංවිධානය ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ළමා සොල්දාදුවන් බඳවා ගැනීම, පැහැර ගෙන යෑම, රඳවා තබා ගැනීම ආදී කරුණු මත කරුණාට එරෙහිව විමර්ශනයක් කළ යුතු බවය. ඒ සඳහා වසර 11ක් බලා සිටියේ ඇයි දැයි යන්න ප්‍රශ්නකි. අනෙක් අතට කරුණා ප්‍රකාශ කර තිබෙන්නේ ළමා සොල්දාදුවන් ගැන කතාවක් නොව හමුදා සොල්දාදුවන් ඝාතනය කළ කතාවකි .එහෙත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ද යන්නේ කොහෙද මල්ලේ පොල් මෙන් කතා කරන්නේ කරුණා කල ඝාතන ගැන නොව වෙනත් කරුණු ගැනය. එනිසා කිසි විටෙක කරුණාට එරෙහිව ඔය කියන පරීක්ෂණ සිදු වන්නේ නැත. ඔවුන් සිදු කරන්නේ ඇතිවී තිබෙන ව්‍යාකූල තත්වය සමනය වන තෙක් යම් යම් ප්‍රකාශ කිරීම පමණි.

මධුමාධව අරවින්ද ජනප්‍රිය කලාකරුවෙකි. මෙවර පොදුජන පෙරමුනෙන් ගම්පහට ඉදිරිපත්ව සිටී. කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු නොවන බව මධුමාධව කියයි. ඒ කියන්නේ කරුණාගේ සිංහල විරෝධය තවමත් තිබෙන බවය. කරුණා ගැන පොහොට්ටුවේ හිටියත් නිවැරදි හැඳින්වීමක් කර තිබෙන්නේ මධුමාධව පමණි. එහෙම කියන්න ඔහුට කොන්දක් තිබීම ගැන සතුටු විය යුතුය.

(මංජුල බටුගෙදර)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 July 2020 13:00