April 20, 2024

මළගම වෙන්දේසියක් කළ ජීවන් කොලු පැටියා

"තොණ්ඩමන්ගේ පුරප්පාඩුව ජීවන්ට" ඒ මීට ටික දිනකට පෙර ජාතික පුවත්පත්වල පළ වූ ශීර්ෂ පාඨයකි. එය පොදු ජනයාට ප්‍රශ්නයක් විය. ඒ රටම දන්නා එකම ජීවන් වන ජීවන් කුමාරතුංග රංගන ශිල්පියා නුවරඑළියේ තොණ්ඩමන්ලාට ගැළපුණේ කෙසේද කියාය. එහෙත් ප්‍රවෘත්තීය කියැවීමේදී ප්‍රශ්නය නිරවුල් විය.ඒ අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයාගේ එකම පුතු ජීවන් බව පසක් වීම නිසාය.

තොන්ඩමන්ගේ අභාවය සිදුවූයේ මැයි මස විසිහය වැනිදාය. අවසන් කටයුතු සිදු කරන ලද්දේ මැයි 31 වැනිදාය. මේ දින 5 තුළ ජනතාව අතර මේ නව ජීවන් අසීමිත ප්‍රසිද්ධියට ලක් වූයේ පියකුගේ මරණය විහිළුවට ලක් කරමින් සිය දේශපාලන වාසිය උදෙසා වෙන්දේසි කළ පුත්‍රයකු ලෙස ය. ඒ නිසාම මේ නව ජීවන් දැන් පිචන් ජීවන් කෙනෙකු වී හමාරය.

ආරුමුගන් තොණ්ඩමන් මිය ගියේ දිනට පසු දින එනම් මැයි 27 වැනිදා පොදුජන පෙරමුණේ නායකයා වන මහින්ද රාජපක්ෂ ‍අග්‍රාමාත්‍යවරයාට ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයින් යෝජනා කළේ තොන්ඩමන්ගේ අභාවයෙන් පුරප්පාඩු වන නුවරඑළිය අපේක්ෂක ධූරයට ජීවන්ව නම් කරන ලෙස ය. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඊට අනුමැතිය පළ කිරීමත් සමඟ ආරුමුගන් තොන්ඩමන් මරණය ඡන්ද වෙන්දේසියේ දැමීම පුතු ජීවන් විසින් හිරිකිතයකින් තොරව ආරම්භ කරන ලදී.

ඉන්පසු උදාවූයේ ආරුමුගම් තොණ්ඩමන් අවමංගල්‍ය උත්සවය නොව ජීවන් තොණ්ඩමන් දේශපාලන වශයෙන් අභිෂේක කිරීමේ මංගල්‍යයයි. එය ඇතැමෙක් දකුණු ඉන්දියාවේ දෙමළ චිත්‍රපටයක් හා සමාන කරයි.

එහෙත් අද දකුණු ඉන්දියාවේ නිර්මාණය වන දමිළ චිත්‍රපටවල තිර නාටක ඉතා ප්‍රබලය. දමිළ සිනමාවේ සුපර් ස්ටාර් රැජිණිය.නැතිනම් රැජිනිකාන්ත් හෙවත් සිවාජි රා ඕ ගයික්වාඩ්ය. ඊළඟට සිටින තරුව තලපති විජේය. තමිල්නාඩුවේ මේ අය රගන චිත්‍රපටවල පිටපත අපේ මලේ නාඩුවේ ජීවන්ගේ පිටපතට වඩා අතිශයින් ප්‍රබලය.

ආරුමුගම් තොණ්ඩමන් හින්දු භක්තිකයෙකි. හින්දු අවමංගල්‍යයකදී ඥාතීන් දෙඅත් එක් කොට ආචාර කරන්නේ ශෝකය පළ කිරීමට නිවසට එන ඇත්තන්ටය. එහෙත් මේ නව ජීවන් වාහනයට නැග මහ මඟ දෙපස සිටින අයට ආචාර කරමින්, අත වනමින්, අමුතුම ආතල් එකක් ගන්නා ලදී. ඒ ආකාරයට මෙරට සිදු වූ ප්‍රථම අවමංගල්‍ය උත්සවය මෙය වන්නට ඇත. දැන් දැන් ම ඊට බෙහෙත් නොදුනහොත් මෙය රැල්ලක් වී වසංගතයක් වීමට ද බැරි නැත. ඒ මහ එවුන් හිටගෙන කරන කොට පොඩි එවුන් ඇවිද ඇවිද කරනවා කියා කතාවක් තිබෙන නිසාය.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති නිරෝධායන නීති රීති සියල්ලම තොණ්ඩමන් අවමංගල්‍ය උත්සවයේදී අමු අමුවේ කැඩුණි. මීටරේ පරතරය අඩියේ පරතරය බවට පත්විය. දේහය චිතකයට රැගෙන යන අවස්ථාවේ එය අඟලට බැස්සේය. 6 දෙනෙක් කර තියා ගෙන යා යුතු දේහයට විස්සකට වැඩි පිරිසක් අත ගැහුවෙ එකිනෙකා තෙරපෙමිනි. නිරෝධායන නීති ගැන මහ ලොකුවට කතා කරපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජාසිංහ දොස්තරතුමාත්, අජිත් රෝහණ නියෝජ්‍ය පොලිස්පතිතුමාත් දැන් පෙනෙන්නට නැත. දැනගන්නට තිබෙන ආකාරයට ජීවන් පුතු ජාසිංහ වෛද්‍යතුමාට සද්දයක්ද දමා තිබේ. මේ ගැන යමක් කීමට කොන්ද තිබුණෙ එකම එක රාජ්‍ය සේවකයෙකුට පමණි. ඒ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපතිය. තොණ්ඩමන් අවමංගල්‍ය උත්සවයට සහභාගි වූ කිසිවකුගෙන් covid 19 ආසාදනය වී පොකුරක් හමුවුනොත් පනතේ රෙගුලාසිවලට අනුව ජාතිකව හා ජාත්‍යන්තරව තොණ්ඩමන් පවුලට නඩු පවරන බව ඔහු දැනුම් දුන්නේය.

තොන්ඩමන් අවමංගල්‍යය පසුපස තිබුණේ එළඹෙන මහමැතිවරණය පදනම් කරගත් දේශපාලනයයි. එනිසාම තොණ්ඩමන්ලාගේ වර්තමාන දේශපාලන ශක්තිය පිළිබඳවද කෙටියෙන් සඳහන් කිරීම වටී. දැන් තොන්ඩමන්ලා වතුකරයේ ජයග්‍රහකයින් නොවේ. ඇත්ත කතාව එයයි. වතුකරයේ බලය තිබෙන්නේ පලනි දිගම්බරන් නායකත්වය දෙන කම්කරු ජාතික සංගමයටය. ඒ බව තාර්කිකව මෙන්ම ගණන් හිලව් ඇතිව ඔප්පු කළ හැක.

නුවරඑළිය කොට්ඨාසය ආසන හතරකින් සමන්විතය. ඉන් තුනක් සිංහල බහුතරය සිටින හඟුරන්කෙත, වලපනේ හා කොත්මලේ ය. අනික වතු දමිළයන්ට අති බහුතරයක් සිටින නුවරඑළිය - මස්කෙළියය. දීස්ත්‍රික්කයේ ජයග්‍රහණය තීරණය වන්නේ මේ නුවරඑළිය මස්කෙළිය ආසනයෙනි.

2015 ජනවාරි 08 ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ පැරදුනු ඡන්දයයි. එහිදී ආරුමුගම් තොණ්ඩමන් සිටියේ මහින්ද රාජපක්ෂ සමගය. එදා සමස්ත නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මහින්ද රාජපක්ෂට ලැබුණේ ඡන්ද 145332කි. එදා ජයග්‍රහකයා වූ මෛත්‍රිපාල සිරිසේන හට ඡන්ද272605 ලැබුණි. වැඩි ඡන්ද එක් ලක්ෂ විසි හත්දහසක් එතන තිබිණි. ඉන්පසු 2019 නොවැම්බර් 16 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයේදී රාජපක්ෂ කඳවුර මැතිවරණයට පෙර සිටම සිටියේ ජයග්‍රාහී කඳවුරේ ය. මෙම මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කළේ මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් 6ක් පමණි.ඉන් 5ක්ම උතුරු-නැගෙනහිරය.ඉන් පිටත ජයග්‍රහණය කළේ නුවරඑළිය පමණකි. ඒ අවස්ථාවේ තොණ්ඩමන්ලා විසින් රාජපක්ෂලාට නුවරඑළියෙන් ලබාදුන් ඡන්ද සංඛ්‍යාව 175823කි. සජිත් ප්‍රේමදාස සමඟ සිටි පලනි දිගම්බරම් කදවුර ඔහුට ඡන්ද 277913ක් ලබා දුන්නේය. වැඩි ඡන්ද ලක්ෂයකට වැඩි ප්‍රමාණයකි. ඒ අනුව රාජපක්ෂලාගේ පරාජිත හා ජයග්‍රාහි යන ජනාදිපතිවරන දෙකේදීම තොන්ඩමන්ලා වතුකරයේ පරාජය වුන බව තහවුරු වේ.

දැන් ජීවන් සිය පියාගේ මරණය විකුණමින් වෙන්දේසි කරමින් ලෑස්ති වන්නේ අප්පට කරන්න බැරි වුණ දේ කරන්නටය. 

ජීවත් පසුවන්නේ 26 වැනි විය. බ්‍රිතාන්‍යයේ නීතිය හැදෑරූ බව සඳහන් වේ. ලංකා කම්කරු කොන්ග්‍රසයේ ඔහුට තනතුරු දෙකක් තිබේ. එකක් සාමාන්‍ය ලේඛම්ය. අනික තරුණ ලේකම් ය.

ලංකා කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘ සෞම්‍යමූර්ති තොණ්ඩමන් ය. ඉන්පසු එහි නායකයා වූයේ ඔහුගේ පුතු රාමනාදන් තොන්ඩමන් ය. ඊටත් පසු නායකයා වූයේ රාමනාදන්ගේ පුතු ආරුමුගන්ය. දැන් නායකයා වෙන්න හදන්නේ ආරුමුගන්ගේ පුත් ජීවන්ය. එහෙත් කොස්සකට තිබෙන්නේ සෙන්දිල් තොණ්ඩමන්. ඒ කියන්නේ ආරුමුගන්ගේ අක්කගේ පුතා ය. නැත්නම් ජීවන්ගේ ඥාති සොහොයුරාය.

සෙන්දිල්ටද දෙමල නළු පිස්සුව ටිකක් තිබෙන බව දන්නෝ කියති. ඒ අනුව ඔහු ප්‍රසිද්ධියේ රැඟූ අවස්ථාද තිබේ. එහෙත් දශකයකට වඩා ක්‍රියාකාරී දේශපාලන අත්දැකීම් ඇති ඔහු දැන් පරිණතය. තොණ්ඩමන් අවමංගල්‍ය උත්සවයේදී ඔහුගේ ඇසිරීම ඉතා හොඳය. ලංකා කම්කරු කොන්ග්‍රසයේ ඊළඟ නායකත්වයට සුදුසුය. ඒ නිසා ජීවන්ට ඉදිරි දේශපාලන ගමන ලේසි වන්නේ නැත.සෙන්දිල්ට නායකත්වය නොලැබුනොත් පක්ෂය කඩාගෙන යනවා ස්ථිරය.

සූදානම ලිපිය අවසන් කරන්නටය. ආරුමුගම් තොණ්ඩමන්ගේ දියණියක විදේශගතව සිට අවමංගල්‍ය උත්සවයට සහභාගිවීමට විශේෂ ආරක්ෂිත රථයකින් උත්සවයට ගෙන ගිය බවට ප්‍රවෘත්ති පළ වී තිබුණි. පිටරටින් එන ඕන කෙනෙක් දින දාහතරක් නිරෝධායනය විය යුතුය. එහෙත් තොන්ඩමන්ගේ දියණිය දින දාහතරක් නිරෝධායනය නොකොට අවමංගල්‍ය උත්සවයට ගෙන යෑම ඉතා නිවැරදි තීන්දුවක් බව මෙරට ජනයාගේ මතය වී තිබේ.එසේ නොවන්නට ජීවන් කොලු පැටියා ගෙවුණු දින 5 මෙන්ම ඉතිරි දින 9 ද තොන්ඩමන්ගේ දේහය රැගෙන රට පුරා කරක් ගහන නිසාය.

එහෙම කියන්නේ හේතුවක් ඇතිවය. කොරෝනා වසංගතය නිසා තමන්ගේ පියාට හරි හමන් අවමංගල්‍ය උත්සවයක් ලබා දීමට නොහැකි වූ බැවින් වසංගත තත්වය පහව යාමෙන් පසු එය ඉටු කරන බව අවමංගල්‍ය සභාව අමතමින් ජීවන් කිවේය. ඒ කියන්නේ මේ ෂෝ එක ඉදිරියටත් පෙන්වන බවය. 

(මංජුල බටුගෙදර)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 June 2020 14:17