April 20, 2024

හූල් යූ ආ ෆූල්!

"ෆුල්" යනු ඉංග්‍රීසි වචනයකි. එය අපේ රටේ ඇත්තන්ට ද හොඳට හුරු පුරුදුය. ඉංග්‍රීසි ටිකක් පුළුවන් අපේ ඇත්තෝ ඔය ෆුල් වචනයට බ්ලැඩී කෑල්ලකුත් එකතු කර කතා කරන අවස්ථාද එමටය.

මළලසේකර ශබ්දකෝෂයට අනුව ෆූල් වචනයට අරුත් තේරුම් රැසක් තිබේ. මෝඩයා, රැවටිලිකාරයා, මෝඩකමට පෙළඹවීම, විහිළුව, මෝඩ විදියට හැසිරීම, මෝඩයෙකු ලෙස හැසිරීම, අඥාන, අනුවණ තේරුම් ඒ අතර තිබේ.

ෆූල් ගැන කතා කරන්න සිදු වුණේ ස්වාධීන යයි කියා ගන්නා මැතිවරණ කොමිසමේ හූල් කොමසාරිස්වරයා නිසාය. ස්වාධීන මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගෙන් කෙනෙකු වෙන මහාචාර්ය රත්නජීවන් හූල් ගැන මීට පෙර ද අප කතා කළේ ඔහු තම විෂයෙන් පරිබාහිරව මෙරට යුද හමුදාපතිවරයා ගැන මෙන්ම සෞඛ්‍ය අංශ ගැන colombo telegraph සමාජ වෙබ් අඩවියට ලිපියක් ලියමින් විවේචනය කර තිබූ නිසාය.

යළිත් පසුගිය කාල වකවානුව තුළ හූල් පුවත් මවන්නෙකු බවට පත්ව සිටි.

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්ව සිටින ඔහුගේ දියණිය සමඟ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිනීම අවසන් වූයේ දෙබරයට ගල් ගැසූ තත්ත්වයක් ඇතිකරමිණි. මේ සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවන්ට පිළිතුරු ලෙස හූල් කීවේ තමාගේ දියණියට දින දාහතරක නිරෝධායනය වූ සහතිකයක් ළඟ තිබෙන නිසා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණීමේ වැරැද්දක් නැති බවය. එහෙත් අපට තේරෙන විදිහට එය බරපතළ වැරැද්දකි.

සාමාන්‍යයෙන් අපේ රටේ රාජ්‍ය සේවයේ ඉන්න පිරිස ඔය පාසැල් නිවාඩු කාලයට තමන්ගේ දරුවන් කාර්යාල වෙත ගෙන ඒමට පුරුදුව සිටියි. එය සදාචාරාත්මක ද නැද්ද යන්න වෙනම කතාවකි. පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දරුවන් පමණක් නොව වැඩිහිටියන්ද අත්‍යවශ්‍ය කරුණකට හැර වෙනත් කිසිම කරුණකට රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයකට නොයන ලෙස රජය හා සෞඛ්‍ය අංශ ජනයාට උපදෙස් දී තිබේ. මේ උපදෙස්දී තිබෙන්නේ කොරෝනා රෝගීන්ට හෝ නිවෙස් වල නිරෝධායනය වන්නවුන්ට නොව කිසිදු රෝගී තත්ත්වයක් නැති නිරෝගී පුරවැසියන්ට ය. එම උපදෙස් දැන් පුරුද්දක් ලෙස මෙරට බහුතරයක් පුරවැසියන් කරගෙන යයි.

සාමාන්‍ය පුරවැසියාට ලබා දුන් එම උපදෙස හූල්ගේ දියණියට ද පොදුය. ඇය විදෙස් රටක සිට පැමිණියා කියා එහි වෙනසක් සිදුවෙන්නේ නැත. බොහෝ විට ඇය සිය පියා මෙන් ද්විත්ව පුරවැසියකු වීමට පිළිවන. ඒ නිසා අන් පුරවැසිකම හිමි රටේ ක්‍රමය මේ රටේ ක්‍රියාත්මක කිරීමට හැකි බව දියණිය සිතුවා විය හැක.හූල් ශ්‍රී ලංකාවේ පමණක් නොව ඇමෙරිකාවේ ද පුරවැසියෙකි.

විදේශ රටක සිට පැමිණීමෙන් පසු රජය නියම කර ඇති නිරෝධායන ස්ථානයක දින දාහතරක නිරෝධායනය වීමෙන් පසු නිවසේ තවත් දින දාහතරක් ඇතුළුව දින 28 නිරෝධායනය විය යුතු බව මෙරට කුඩා ළමුන් පවා දන්නා කරුණකි.

මේ ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කිව්වේ හූල් කළේ නොහොබිනා වැඩක් බවය. රටේ පුරවැසියන් නිරෝධායන නීති රීති අකුරටම පිළි පදිද්දී හූල් කලේ නොකළ යුතු දෙයක් බව ඔහු කීවේය. ඊළඟට දොස්තර වෘත්තීය සමිතියේ නවීන් ද සොයිසා වෛද්‍යවරයා කිව්වේ තරාතිරම නොබලා ඔහුට දඩුවම් කළ යුතු බවය. ඔය දොස්තර සංගමය කියන කරන දේවල් ගැන මේ රටේ හුදි ජනයා තැකීමක් නොකළ ද දොස්තර සොයිසා පුරවැසියෙකු ලෙස කියූ කරුණ නිවැරදිය. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන හැමදාම රෑට පුන පුනා නිරෝධායන නීති රීති කඩපු අය ගැන, දුන් දඬුවම් ගැන, කිව්වද හූල්ට හෝ දියණියට දුන් දඬුවමක් ගැන අසන්නට ලැබී නැත. හූල් මැතිවරණ කොමසාරිස්වරයෙකු වූ නිසා එය යට ගියා විය හැක. සාමාන්‍යයෙන් ලොකු අයට, බලපෑම් කළ හැකි අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන ආකාරයට එය විසඳුනා විය හැක.

ඇගේ දියණිය යාපනයේ සිට කොළඹට ගෙනවිත් තිබෙන්නේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයට අයත් වාහනකිනි. ඊට හේතුව ලෙස හූල් කිව්වේ පොදු ප්‍රවාහන සේවා නැති නිසා තමන් එසේ ඉල්ලීමක් කර එම පහසුකම ලබා ගත් බවයි.ඇඳිරි නීතිය සමඟ කොළඹ මාස දෙකකට ආසන්න කාලයක් සිය ගම්බිම් බලා යෑමට නොහැකිව මෙරට සාමාන්‍ය පුරවැසියන් හැට දහසකට වැඩි පිරිසක් කොටු වී සිටියේ හූල්ගේ දියණිය මුහුණ දුන් තත්ත්වය හා සමාන තත්වයක් නිසාය.හැට දහසකට එහා පිරිසකට මෙසේ කට්ටක් කන්න පුළුවන් නම් හූල්ගේ දියණියට පමණක් විශේෂත්වයක් දැක්වීමට ඇති හේතුව කුමක්ද?

හූල් එතනින් නොනැවතිනි. දැන් අලුත් වැඩක් පටන් ගෙන තිබේ.ඒ මැතිවරණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇසෙන පෙත්සම් වලදී මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගේ මතයට එරෙහිව මතයක් නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමය.මෙය ඔහු මැතිවරණ කොමිසම තුළ කලක පටන් කරගෙන ගිය එකකි. දැන් ඔහු එම සම්ප්‍රදාය වැඩිදියුණු කර ශ්‍රේෂ්ඨාධිකරණයට ද ගෙන ගොස් තිබේ.

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් එකිනෙකාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු දැක්වීම ගැන ලැජ්ජා විය යුතු බව ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී මේ ඊයේ පෙරේදා කිව්වේ මේ නිසාය. ඒ පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටිමිනි. විජේදාස රාජපක්ෂ මෙහෙම කිව්වේ මහින්ද දේශප්‍රියගේ මතයට එරෙහිව මතයක් හූල් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම නිසාය.ඔහු වැඩිදුරටත් කිව්වේ මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරුන්ට එක මතයක සිටීමට නොහැකි වීම ලැජ්ජා සහගත බවය.

මැතිවරණ කොමිසම තිබෙන්නේ මැතිවරණ තැබීමට මිස මැතිවරණ නොතැබීමට නොවේ. හූල් කරන්නේ මැතිවරණ නොතිබීමට වැඩ කටයුතු සිදුකිරීමය.

ලක්ෂ එකසිය හැටකට ආසන්න ඡන්දදායකයන්ගේ පරමාධිපත්‍ය බලය සම්බන්ධයෙන් තමන්ගේ වගකීම නොදන්නා මිනිසා මහාචාර්යවරයෙකු වුවත් මෝඩයෙකි.සිය වගකීම නොදන්නා ලෙස කටයුතු කිරීම මෝඩයෙකු ලෙස හැසිරීමකි. අඥාන ගතියකි.අනුවණකමකි. මේ ලිපිය ආරම්භයේ අප සඳහන් කළ ෆුල් වචනය මහාචාර්ය රත්නජීවන් හූල් ට ගැලපෙන්නෙ මෙතැනදීය. අපට ඔහුගෙන් අසන්නට ඇත්තේ හූල් යූ ආර් ෆුල් ද කියාද? (Hoole You Are Fool)

(මංජුල බටුගෙදර)

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 May 2020 12:28