April 20, 2024

කුජීතම පරාජිතයා

November 25, 2019

2019 ජනාධිපතිවරණය දැන් හමාරය. ජයග්‍රාහකයා ධූරයේ වැඩ භාර ගෙනද හමාරය. ජනාධිපතිවරණයේ හොඳම පරාජිතයා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස ය. විවිධ විකට කතා කිව්වත් ඔහු ජනාධිපතිවරණයේදී 5564239 එනම් සියයට 41.99 ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේය. මෙම ජනාධිපතිවරණයේ දී ලොකුම පරාජිතයකු ද ඉස්මතු විය. අප අද කතා කරන්නේ ඔහු ගැනය. ඔහුගේ පරාජයට හේතු ගැන.

විවාදයකින් තොරව මෙවර ජනාධිපතිවරණයේ ලොකුම පරාජිතයා මාලිමාව ලකුණෙන් තරග කළ ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායකය. අනුර කුමාර ජනාධිපතිවරණයට පැමිණියේ ලක්ෂ දහයකට එහා ඡන්ද ගැනීමටය. ඒ සඳහා ජවිපෙත් අතහැර, සීනුවත් අතහැර සංවිධාන 28 කින් යුත් ජාතික ජන බලවේගයක් අටවා ගත්තේය. සමලිංගිකයන්ට සිය අයිතිවාසිකම් දෙන බව ඔහුගේ මුල්ම පොරොන්දු විය. ඒ අනුව සමලිංගික සමිතියක සභාපතිවරයෙක් මාධ්‍ය ඉදිරියට පැමිණි ප්‍රකාශ කළේ තම සංගමය සමඟ සිටින ලක්ෂ 20ක ඡන්ද කුට්ටියක් අනුර කුමාරට ලබාදෙන බවය. එහෙත් ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵලයට අනූව අනුර කුමාරට ලැබී තිබුණේ ඡන්ද 418553 කි.

අනික් අතට සමලිංගිකයන් අනුර කුමාරට මේ ඡන්දයෙදි ඡන්ද දෙතැයි සිතීම මනංකල්පිත කරුණකි. සමලිංගිකයන්ට තැනක් හා කෙනෙක් අවශ්‍ය නම් ඒ සඳහා වඩාත්ම කිට්ටුම රනිල්, මංගල, සාගල, මලික් නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණ අපේක්ෂකයාය. මීට ටික කලකට පෙර රනිල් - මංගල දෙපල සමලිංගික විවාහයන් සඳහා අවසර දෙන පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට උත්සාහ කළේය. මහා සංඝරත්නයේ විරෝධය හමුවේ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන එය අවලංගු කරන ලදී.

ඉතිහාසයේ ජවිපෙ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයකට ඉදිරිපත්වූ තුන්වැනි අවස්ථාව මෙයයි. 1982 පළමු ජනාධිපතිවරණයට පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඉදිරිපත් වී ඡන්ද 273428 එනම් සියයට 4.1 ක් ලබා ගත්තේය. එම ජනාධිපතිවරණයේ දී ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාව 6522147කි. ඊළඟට 1999 දී  නන්දන ගුණතිලක ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඡන්ද 344173ක් එනම් සියයට 4.08 ක් ලබා ගත්තේය. එවර වලංගු ඡන්ද සංඛ්‍යාව වූයේ 8435754 කි. 2019 වර්ෂයේදී සීනුවෙන් නැතත් ජවිපෙන් නැතත් අනුර කුමාර ඉදිරිපත් වී ලබා ගත ඡන්ද ප්‍රමාණය 418553 කි. එනම් සියයට 3.16 කි.

ජනාධිපතිවරණයෙන් පසු අනුර කුමාර මාධ්‍ය හමුවක් පවත්වා ඉතා තැන්පත්ව කරුණු කීපයක් ජනතාව වෙත ඉදිරිපත් කළේය. එම මාධ්‍ය හමුවේ දී වෙනදාමෙන් ලොකු කතා දුන්නේ නැත. බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නැතැයි කීවේය. එහෙම කියා මේ රටේ ජනතාවට යන්න වෙන්නේ අපේ පාරේ යයිද කීවේය. එහෙත් එහි යා යුතු පාර ගැන ප්‍රකාශයක් ද කළේ ද නැත. ජවිපෙ බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොලැබීමට හේතුව අනුර කුමාරගේ ඩීල් බව ප්‍රකට කරුණකි. අනුර කුමාර එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ හා මලික් සමරවික්‍රම සමග පවත්වන සබදතාවය පිළිබඳව කිසිදිනක පිළිතුරු දී නොමැත. ඒත් එය ඡන්දදායකයා විශ්වාස කරන බව ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයාම අනුර කුමාරට තේරුම් බේරුම් කර දී තිබේ.

මෙම මාධ්‍ය හමුවේ දී අනුර කුමාර තවත් කතාවක් කීවේය. ඒ ඇතැම් අපේක්ෂකයන් පටු ජාතිවාදය වැපිරූ බවය. ඔහු එහෙම කිවේ  ජනාධිපතිවරණය ජය ගත් අපේක්ෂකයා ඉලක්ක කොටය. එහෙත් ජාතිවාදයට එරෙහි කතා කළ අනුර කුමාරට උතුරු නැගෙනහිර ඡන්ද දායකයන් ලබාදුන්නේද අපූරු ප්‍රතිචාරකි. උතුරු නැගෙනහිර දිස්ත්‍රික් සියල්ලේම පළමු තැන ඔහුට නැත. සජිත්ට හිමිවිය. දෙවැනි තැන ද ඔහුට නැත. ගෝඨාභයට හිමිවිය. තුන්වන තැනද ඔහුට නැත. එම තැන වැඩිය කවුරුත් නොදන්නා රාජාලියාගෙන්  තරඟකල ආරියවංශ දිසානායකට හිමිවිය. ඇතැම් ස්ථානවල හතරවන ස්ථානය හිස්බුල්ලාට හිමිවිය. අනුර කුමාරගේ ජාතිවාදයට එරෙහි මතයට උතුරු නැගෙනහිර ජනතාව පිළිතුරු දුන්නේ ඔය ආකාරයට. ඒ උතුරු නැගෙනහිර ජනතාව ද අනුර කුමාර ප්‍රතික්ෂේප කරන ජාතිවාදයේම ඇලී සිටින නිසාය. එය ඡන්ද ප්‍රතිපලයෙන්ම පෙන්නුම් කෙරේ.

ඉතා දිගු කලක් රනිල් වික්‍රමසිංහ ඇසුරු කිරීම මත අනුර කුමාර ඔහුගෙන් ඉගෙනගත් දේවල් ද තිබේ. ඒ පරාජය පිළිබඳව රනිල් මෙන්ම අපබ්‍රංශ කීමය. අනුර කුමාර දැන් කියන්නේ රනිල්ගේ කතාමය. ඊළඟට රනිල්ගේ ප්‍රභලම ගති ලක්ෂණය ද අනුර කුමාරට ජීරණය වී තිබේ. ඒ මොන පරාජයක් ලැබුවද පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් නොවීමේ ගති ලක්ෂණයයි. රනිල්ට ජනපතිකම අගමැතිකම හෝ වෙන ඕනෑම කමකට වඩා වටින්නේ පක්ෂ නායකකමයි. අනුරගේ තත්වය ද දැන් එසේමය. අනුරට වටින්නෙත් ජවිපෙ නායකකම පමණකි.

ජනාධිපතිවරණයේ දී දෙවැනි හා තුන්වැනි මනාප ගණන් කිරීමට අවශ්‍ය යැයි යන මතයක් ජනතාව තුළට කිඳා බස්සවා තිබුණි. එහෙම සිදු නොවී ජයග්‍රහකයා 50% ඉක්මවීය. එහෙත් ජනාධිපතිවරණයේදී දෙවැනි සහ තුන්වැනි මනාප ගණන් කිරීම සිදුවූයේ නම් ජවිපෙ කෙරුවාව ජනතාවට දැකබලා ගැනීමට හැකිවනු ඇත. ජවිපෙ කාඩරය තනිකරම සිය දෙවැනි මනාපය ලකුණු කර තිබුණේ සජිත් ප්‍රේමදාසටය. එය ඔබ දන්නා කියන ඡන්දය ගැනීමට ගිය රාජ්‍ය සේවකයෙක් මුණගැසී දැන ගැනීමට පිළිවන. ජවිපෙ නායකයා අමු අමුවේ ඝාතනය කළ ප්‍රේමදාසගේ පුතාට ඡන්දය දෙන තරමටම ජවිපෙ නායකයන් දැන් කුහක වී තිබේ. අවස්ථාවාදී වී තිබේ. මේකට කියන්නේ එක්සත් ජාතික පක්ෂය ඝාතනය කළ විජේවීර සහෝදරයා ජවිපෙ නායකයා තවත් වතාවක් ඝාතනය කළ බව ය.

තව මාස දෙක තුනකින් මහා මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබේ. ඊට තරඟ කරන ජවිපෙට අනුර කුමාර නායකත්වය ලබා දුනහොත් එම මැතිවරණයේ ප්‍රතිඵලය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයටත් වඩා බරපතල ඛේදවාචකයක් වේ. මේ වන විට ජවිපෙට  කොළඹ, ගම්පහ, කළුතර, හම්බන්තොට මන්ත්‍රීවරයකු බැගින් සිටී. ජාතික ලැයිස්තුවෙන්ද මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සිටී. එහෙත් එළඹෙන මැතිවරණයේදී අනුරගේ නායකත්වය යටතේ හම්බන්තොට හා කළුතර ආසන දෙක අහිමි වීම ස්ථිරය. ඒ අනුව ජාතික ලැයිස්තුවේ දෙකක් සමඟ ලැබෙනුයේ පාර්ලිමේන්තු ආසන හතරක් පමණි. ඒ පිළිබඳව සිතා බැලිය යුතු කාලය එළැඹ තිබේ.

(මංජුල බටුගෙදර)

Rate this item
(4 votes)
Last modified on Monday, 25 November 2019 14:44