March 28, 2024

අසාර්ථකම පාලකයා

November 14, 2019

මේ එළඹ තිබෙන්නේ ජනාධිපතිවරණ කාලයයි. ඒ නිසා මෙම ලිපිය ලිවිය යුත්තේ ජනාධිපතිවරණය ගැනය. එහෙත් ඊටත් වඩා වැදගත් කරුණක් දැන් ඉස්මතු වී තිබේ. ඒ නිසා ඒ ගැන ලිවීම වඩාත් කාලෝචිතය.

1948 පෙබරවාරි 4 වැනි දින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් ලැබීමෙන් පසු මහාමාන්‍ය ඩී.එස් සේනානායක, ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, එස්.ඩබ්ලිව්.ආර්. ඩී බණ්ඩාරනායක, විජයානන්ද දහනායක, සිරිමාවෝ බණ්ඩාරනායක මේ රටේ නායකත්වයට එනම් අග්‍රාමාත්‍ය ධූරයට පත්විය. ඉන්පසු 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ විධායක ජනාධිපති ධූරය හඳුන්වා දී පිළිවෙලින් ජේ.ආර් ජයවර්ධන, ආර්.ප්‍රේමදාස, ඩී.බී.විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන එම ධූරයට පත්විය. ජේ.ආර්,ජයවර්ධන, චන්ද්‍රිකා මෙන්ම මහින්ද මේ රටේ දෙවතාවක් ජනාධිපති ධුරයට පත්විය.

මේ සියලු රාජ්‍ය නායකයින් අතරින් දුර්වලම, ලැජ්ජාවක් නොමැති, ආත්ම ශක්තියක් නැති නායකයා තව දවස් දෙක තුනකින් ගෙදර යෑමට නියමිතය. ඒ අන් කවුරුත් නොව මෛත්‍රීපාල සිරිසේන.

යන යකා කොරහත් බිඳගෙන යතැයි යන්න පැරණි කියමනක් තිබේ. ඒ කියමන අකුරටම ඉටු කරමින් ධුරයෙන් නික්ම යෑමට හරියටම සතියකට පෙර සිදු කළේ ජන සමාජයේ විවේචනයට ලක්වන කටයුත්තකි. ඒ මිනීමරා එල්ලුම්ගසට නියම පුද්ගලයකුට සිය ජනපති බලතල යොදා නිදහස ලබා දීමයි.

කෙසෙල් කොලේ බත් කා පොළොන්නරුවේ සිට රට පාලනය කිරීමට පැමිණි සරල සිරිසේන ධර්මය ගැන කතා කළාට භෞතික දෙයට ලොල් වූ ඉතා දීන මිනිසෙකි. ඔහු රෝයල් පාක් ඝාතකයා නිදහස් කළේ විශාල ප්‍රතිලාභයකට බව දන්නෝ දනිති.

වැලිකඩ සිරගෙදර කාන්තා අංශයේ මිනීමරුම් චෝදනාවලට ලක්ව එල්ලුම් ගහට නියම වූ චූදිතයන් රැසක් සිටියි. බොහෝ දෙනාගේ කථාව ඉතා ශෝචනීයයි. ස්වාමිපුරුෂයා හෝ පුත්‍රයා විසින් කරන ලද ඝාතනවල වගකීම ඔවුන් ගෙන එසේත් නැත්නම් ස්වාමිපුරුෂයා හෝ පුත්‍රයා විසින් සිදුකිරීමට සැලසුම් කළ අපරාධයක් ඊට පෙර තමන් විසින්ම කිරීමේ හේතුව මත එල්ලුම් ගසට නියමවූවන් වේ. ඔවුන් මේ වනවිට වසර 10, 15, 20 ආදී වශයෙන් සිරදඩුවම් ගෙවා ඇති අතර මනා පුනුරුත්තාපනයක්ද ලබා තිබේ. නිදහස් කිරීමට අවශ්‍ යනම් නිදහස් කළ යුතුව තිබුණේ මේ කාන්තාවන්ය. ඔවුන්ගේ සිරගත වීම් මත ඔවුන්ගේ ජීවිත මෙන්ම දරුවන්ගේ ජීවිතය ද කඩා වැටී අවසන්ය. ඒ ගැන සිරිසේනට අනුකම්පාවක් දැනුණේ නැත. දැනුනේ කෝටිපතියෙකුගේ මිනීමරු පුත්‍රයකු පිළිබඳව පමණකි.

ජනපති සිරිසේන පමණක් නොව ඔහුගේ දියණිය වන චතුරිකා ද පුත්‍රයා වන දහම් ද ඩීල් සඳහා ප්‍රකට චරිත දෙකකි. කිසිදු රැකියාවක් නොකරන දහම් සිරිසේනට අතිවිශාල සම්පත් ප්‍රමාණයක් හිමිව තිබේ. චතුරිකා සිරිසේනගේ තත්ත්වයද ඊට නොදෙවෙනිය. ඇයද කෝටි පතිනියකි. ඒ ඩීල් හරහා හරි හම්බ කරගත් මුදල් ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විශ්‍රාම යන ජනාධිපතිවරයෙකුට නිවසක් ලබාදීම අනිවාර්‍යවේ. එය ලබා දෙන්නේ ධුරයෙන් ඉවත් වීමෙන් පසුවය. එහෙත් වත්මන් ජනපතිවරයා ධුරයේ සිටියදී ම රජයට අයත් නිවාස තුනක් එකට එක්‌ කොට මහා මන්දිරයක් තනා ගෙන එහි සිට රාජ්‍ය පාලනය කලේ විශ්‍රාම යෑමෙන් පසු එය අත්‍ පත්කර ගැනීමේ පහත්‍ මානසිකත්වයෙන් බව දැන් පැහැදිලිය. ශ්‍රී ලංකාවේ වැඩිම ඉඩම් මිලක් තිබෙන මෙම ප්‍රදේශයේ එනම් මළලසේකර මාවත නොහොත් පැජට් පාරේ විශ්‍රාම යෑමෙන් පසු සිටීමට බලාපොරොත්තු වෙන නිල නිවසේ වටිනාකම රුපියල් ලක්ෂ 8000ක් ද ඉක්මවයි. එය විශ්‍රාම යාමටත් පෙර තමන් ප්‍රධානත්වය දරන කැබිනට් මණ්ඩලය තුළ දී හිරිකිතයකින් තොරව සම්මත කර ගන්නා ලදී. එතැනින් නොනැවතුණු ඔහු රුපියල් ලක්ෂ 3000ක් පමණ වටිනා වාහන දෙකක් ද රජයේ බදු මුදලින් අලුතෙන් මිල දී ගෙන ඊට අදාළ බදු ලෙස රුපියල් ලක්ෂ දහසක් ගෙවීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මේ සියල්ල බඳු මුදල්. ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියන්නේ මෙන්න මේකටය.

ඊළඟට 1951 සැප්තැම්බර් දෙවැනි දින බණ්ඩාරනායක ශ්‍රීමතාණන් බිහි කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විනාශයද ළඟා කරදීමට සිරිසේන සමත් විය. මහින්ද රාජපක්ෂ ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළුවක් කඩා ගෙන ගියේය. ඉන්පසු මේ නොබෝදා තවත් පළුවක් ගෝඨාභය රාජපක්ෂට සහයදීමට පක්ෂයෙන් කඩා ගෙන ගියේය. ඉතුරුවී සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන සහ ලපයි සිපයි කීප දෙනෙක් පමණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ සෑම කලකම වැටි වැටි නැගිට්ට බව ඇත්තය. ඒත් අද පක්ෂය නැගිටුවීමට කිසිවකුත් ඉතිරි වී නැත. රාජපක්ෂවරුන්ගේ පෞරුෂය හමුවේ සිරිසේන අන්ත අසරණ විය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දී ජනාධිපතිවරයා සතුව තිබූ බලතල ජනපති, අගමැති හා කථානායක අතර බෙදීමක් සිදු කර රට දැවැන්ත අර්බුදයකට සිරිසේන ගෙන ගියේය. ඉන් වඩාත්ම තීරණාත්මක අවස්ථාව උදා වූයේ 2018 වර්ෂයේ ඔක්තෝබර් මස සිදු වූ ආණ්ඩු පෙරළියත් සමඟය. එහිදී තමන්ට කිසිදු බලයක් හිමිව නැති බව මෛත්‍රිපාල සිරිසේනට තේරුම් ගියද ඒ වන විට ඔහු ප්‍රමාද වී හමාරය. 19 හරහා රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේනගේ ගෙල සිදීමට ගත් උත්සාහය නතර වූයේ විජේදාස රාජපක්ෂ වැන්නවුන්ගෙන් මැදිහත්වීම නිසාය. 19 සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලෙන් එක්සත් ජාතික පක්ෂයට මූට්ටු කර එය සම්මත කර ගත් අවස්ථාවේ සිරිසේන පැවැසුවේ තමන් ලොකු පුණ්‍යකර්මයක් කර ගත්‍ බවය. එහෙත් අද ඔහු පවසන්නේ තමන් පාපකර්මයක් කර ගත්‍ බවය .

සිරිසේන රාජ්‍ය පාලනයට දක්ෂයකු නොවූවද පාලකයෙකු යටතේ යම් නිලයක් දැරීමට තමන් දක්ෂයකු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස ඔප්පු කරන ලදී. එහි මහ ලේකම්කම චන්ද්‍රිකා හා මහින්ද යටතේ ඔවුන්ගෙන් බැණුම් අසමින් අගේට කරන ලදී.

එහෙත් සිරිසේන නොදන්නා රාජ්‍ය පාලනයට ගොස් රටත්‍ අර්බූදයට දමා, පක්ෂයත් විනාශ කොට, මහජන මුදලින් සිය විශ්‍රාම ජීවිතයට අවශ්‍ය පහසුකම් සියල්ල ද සපයා ගෙන අවසානයේ ජන සමාජයේ විරෝධය නොතකා ඇති විශාල ප්‍රතිලාභයක් මත ඝාතකයකුද නිදහස් කොට මෙරට ඉතිහාසයේ සිටි දුර්වලම පාලකයා ලෙස සිය නම ඉතිහාසයට එක්‌ කරමින් තව දින දෙක තුනකින් සිය ධුරයට සමුදීමට සූදානමින් සිටී.

(මංජුල බටුගෙදර)

Rate this item
(2 votes)