March 28, 2024

ඇල්පිටියෙන් මතු වූ මීළඟ ජනපති

ඉකුත් ඔක්තොම්බර් 11 වැනි දින හුදකලා මැතිවරණයක් ලෙස පැවැත් වූ ඡන්දය ගැන ජය මෙන්ම පරාජය ලැබූ පක්ෂවිවිධ අර්ථකතනයන් ඉදිරිපත් කරමින් සිටි. එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසන්නේ ඇල්පිටිය සුළු ප්‍රදේශයක් බැවින් ඉන් සමස්ත ශ්‍රී ලංකාවේ ම ප්‍රතිඵලය පිළිඹිබු නොවන බවයි. ජවිපෙ ප්‍රචාර ලේකම් විජිත හේරත් පවසන්නේ ජනාධිපතිවරණයක ප්‍රතිඵල ප්‍රාදේශීය සභා මැතිවරණයකින් මැනිය නොහැකි බවයි.

එහෙත් සැබෑව නම් යථාර්ථය නම් ඉතා වැදගත් ජාතික මැතිවරණයක් හමුවේ පැවැත්වෙන මෙවැනි මැතිවරණයක ප්‍රතිඵලය ප්‍රධාන මැතිවරණයට දැඩි බලපෑමක් එල්ල කරන බවයි. ඊට උදාහරණ ද තිබේ.

වසර 09 මාස 2ක මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට හැකි වුයේ 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයට මාස 02කටත් අඩු කාලයකට පෙර පැවැත් වූ ඌව පළාත් සභා ඡන්දයයි. රාජපක්ෂ පාලනය එක් එක් පළාත් සභා වෙන වෙනම තබමින් සෑම වසරකම තම රජය ගැන ජනතාව දරන මතය පිළිබඳව තක්සේරුවක් ලබමින් සිටියේය. එදා රාජපක්ෂ රජය ඌව පරාජය වෙන බව දැන බදුල්ලට වඩා ආසන සංඛ්‍යාවක් මොනරාගලට එකතු කර යාන්තම් ජාම ගොඩ දාගත්තේ ය. ඉන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රාජපක්ෂ විරෝධී බලවේග ලැබූ පන්නරය අවසන් වූයේ කවදාවත් පරාජය කළ නොහැකි යැයි විශ්වාසයක් ගොඩ නඟා තිබූ රාජපක්ෂ පාලනය පරාජය කරමිනි.

ඊට එහා ඉතිහාසයට ගිය කළ 1994 දාහත් අවුරුදු එක්සත් ජාතික පක්ෂ පාලනය පෙරළා දැමීමේ අඩි තාලම වැටුණේ ඊට පෙර වර්ෂයේ පැවැති දකුණු පළාත් සභා ඡන්දයෙනි. එක්සත් ජාතික පක්ෂය සුප්‍රසිද්ධ ෆැන්සිස්කෝ මන්ත්‍රීවරයා අස්තාන ගත කළෙත් මෙම මැතිවරණයේදී ය. එහෙත් අමරසිරි දොඩම්ගොඩ පා.ම ධූරයෙන් ඉල්ලා අස්වී දකුණු සටනට නායකත්වය දී එක්සත් ජාතික පක්ෂය පරාජය කරන ලදී. එදා ඒ ආරම්භ කළ ගමන අවසන් වුයේ 1994 දී එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කොට වාමංශික හා ප්‍රගතිශීලි කඳවුරේ රජයක් මෙන්ම ජනාධිපතිවරයෙකුත් පත් කරගනිමිනි.

ඒ නිසා ඇල්පිටිය රටේ සුළු කෑල්ලක් යැයි පවසමින් එහි ප්‍රතිඵලය ගණන් ගත යුතු නැතැයි යමෙක් පවසන්නේ නම් ඒ දේශපාලන අධ බාලයෙකි. ඇල්පිටිය කවදත් වමට බර කොට්ඨාසයකි. 2011 දී එය එ.ජ.නි.ස ජය ගත්තේ 58.54% ලබාගනිමිනි. එදා ඒ ඡන්ද පන්දමට 2010 ජනධිපතිවරණයේ හා මහ මැතිවරණයේ මහින්ද රාජපක්ෂ ලබා ගත් ඓතිහාසික ජයග්‍රහණයේ උපරිම වාසියද හිමිවිය. 2011 දී එක්සත් ජාතික පක්ෂය 30.59% ලබා ගත්තේ ය. ඒ මහින්ද රාජපක්ෂ පාලනය ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටිය දීය. ඒත් මෙවර ගම්මට්ටමේ, බිම් මට්ටමේ ජනපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කර තිබිය දී ලබා ගත්තේ 24.37% ක ඡන්ද ප්‍රතිශතයකි. මේ කඩා වැටීමෙන් පෙන්නුම් කරන්නේ සජිත් ප්‍රේමදාස සැබෑ ලෙසම ගම් මට්ටමේ, බිම් මට්ටමේ මිනිසා ද? යන ප්‍රශ්නයයි.

ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක වන්නේ සජිත්ගේ හොඳම ගෝලයකි. ඒ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇමතිවරයායි. මේ ඡන්ද ප්‍රතිඵලයෙන් පෙනී යන්නේ සජිත් ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක හා රජය පසුගිය අවුරුදු 4 1/2 තුළ ඇල්පිටියට කළ දෙයක් නොමැති බවයි. එහෙමත් නැත්නම් කරපු දේවල් ඇල්පිටියේ ජනතාවට දැනී නොමැති බවයි.

සම්ප්‍රදායිකව බලද්දී නාගරිකව එක්සත් ජාතික පක්ෂයට වාසිදායක පසුබිමක් තිබේ. ඒ බව කොළඹ පමණක් නොව මහනුවර, ගාල්ලේ පවා දැක ගත හැකිය. එහෙත් මේ රටේ බිම් මට්ටමේ හා ගම් මට්ටමේ මිනිසා මහින්ද රාජපක්ෂ බව ඇල්පිටියේ දී යළිත් ඔප්පු විය. 2018 පෙබරවාරි 10 පැවැති පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව ඡන්දය දුන්නේ තම කොට්ඨාසවලින් ඉදිරිපත් වූ අපේක්ෂකයාට නොව මහින්ද රාජපක්ෂටය. ඒ මොන වැරැදි තිබ්බත්, අඩුපාඩුකම් තිබ්බත් මහින්ද අපේ මිනිහා යන හැඟිම ජනතාවගේ හදවත් තුළ තිබෙන නිසාය.

ලංකාව ආසන 160ක් තිබේ. ඉන් ආසන 14 තිබෙන්නේ උතුරේ ය. නැගෙනහිර පළාතේ ආසන 10ක් තිබේ. ඉන් දිගාමඩුල්ල සහ සේරුවිල සිංහල බෞද්ධ පදනමක් තිබෙන ග්‍රාමීය ආසනය. මධ්‍යම පළාතේ නුවරඑළිය මස්කෙළිය ආසනය සුළු ජාතීන් බහුතරයක් සිටින ආසනයකි. ඒ හැරුණු කොට සිංහල බෞද්ධ බහුතරයක් සිටිය ද සැලැකිය යුතු සුළු ජාතික ඡන්ද ප්‍රමාණයක් තිබෙන ආසන තිබේ. බේරුවල, හාරිස්පත්තුව එවැනි ආසනය. එමෙන්ම සිංහල කතෝලික බහුතරයක් ඡන්ද තිබෙන ආසන ගම්පහ මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කවල තිබේ. ඒ ආසන සංඛ්‍යාව සාමාන්‍යයෙන් 10ක් පමණ වේ. ඉහත සඳහන් කරුණු සලකා බලද්දී සමස්ත ආසන 160න් ආසන 120ක් පමණ එනම් ආසන සංඛ්‍යාවෙන් 3/4ක් පමණ සිංහල බෞද්ධයන් බහුතරයක් සිටින ග්‍රාමීය ආසනය.

මේ ආසන 120න් බහුතරයක් ඡන්ද දායකයන්ගේ පැතුම බලාපොරොත්තුව හා මතය ඇල්පිටිය ජනතාව ඔක්තොම්බර් 11 වැනිදා ප්‍රකාශ කළ පැතුම බලාපොරොත්තුව හා මතය හා සමානය. 2015 ජනවාරි 08 මහින්ද රාජපක්ෂ පරාද වූවද ඔහු ආසන 160න් 91ක් ජය ගැනීමට සමත්විය. එම තත්ත්වය ඉදිරි ජනපතිවරණයේ දී වැඩි වෙනවා මිස අඩුවන්නේ නැත. ඒ කියන්නේ සිංහල බෞද්ධ පදනමක් ඇති ආසන 100කට වඩා වැඩි ප්‍රමාණයක් පොදුජන පෙරමුණ ජය ගන්නා බවයි. ඒ කියන්නේ ඇල්පිටියේ ප්‍රතිඵලය ලැබෙන බවයි. සජිත් ප්‍රේමදාසට ඉතිරි වන්නේ තමන්ට වාසිදායක ආසන 40ක පමණ ප්‍රමාණයකි. ඒ ආසන සංඛ්‍යාවෙන් සජිත් ප්‍රේමදාසට ජනපතිවන්නට පුළුවන් යැයි යමෙක් සිතනවා නම් ඒ අයට අනුකම්පාව දැක්විම හැර කළ හැකි වෙන දෙයක් නැත. එළැඹෙන නොවැම්බර් 17 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ඇල්පිටියේ ප්‍රතිඵලය රට හමුවේ දිග හැරෙන බව දැන් සක්සුදක් සේ පැහැදිළිය.

(මංජුල බටුගෙදර)

Rate this item
(0 votes)