December 11, 2019

ශ්‍රීලනිපයේ ඡන්ද ලක්ෂ 14 මිත්‍යාව

ජනතාව ඡන්දය පාවිච්චි කරන විදිය හිතා ගැනීම අසීරු දෙයකි. ඡන්දදායකයා තමන්ට රට ගැන මෙන්ම තමන්ට, තමන් හා තම පවුල ගැන දැනෙන ආකාරය පදනම් කොට ඡන්දය පාවිච්චි කරයි. විශේෂයෙන්ම ඕනෑම ඡන්දයකදී අවලංගු කරන ඡන්ද ප්‍රමාණය තීරණාත්මක ප්‍රතිශතයක් වීම ඊට නිදසුනකි. 

ශ්‍රීලනිපය මිට මාස 19කට පමණ පෙර තමන්ට ලැබුණු ලක්ෂ 14ක ඡන්ද තොගයක් පරිස්සමට තබා තිබෙන බව එහි නිල ධරන්නන් කියන ප්‍රකට කතාවකි. පසුගිය ඉරිදා සිරිසේන ජනාධිපතිවරයා රත්නපුරයේ පැවති ජන හමුවක කිවේ අපි ගාව තියෙන ඡන්දය නැතුව කාටවත් දිනන්නට බැරි බවය. 

ශ්‍රීලනිපය ඔය කියන ලක්ෂ 14,2018 පෙබරවාරි 10  වන දින පැවති පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපතිවරයා නායකත්වය දරන ශ්‍රීලනිප හා එජනිසයට ලැබුණු ඡන්ද සංඛ්‍යාව වේ. 

පළාත් පාලන ඡන්දය යනු ගමේ ඡන්දයයි. එහිදී බොහෝ විට පක්ෂ පාට නොබලා අසල්වැසියාට ඡන්දය දීමේ පුරුද්දක් ඡන්දදායකයා තුළ තිබේ. එහෙත් පසුගිය පළාත් පාලන ඡන්දය ගමේ ඡන්දයකට එහා ගිය පවතින රජයට එරෙහිව මතයක් ප්‍රකාශ කළ ජනමත විචාරණයක් විය. සාමාන්‍යයෙන් සියයට 50ක 60ක ඡන්දයක් භාවිතා වන මෙම ඡන්දයේදී 80% ඉක්මවා ගියා ඒ නිසාය. එදා ශ්‍රීලනිපයට ඔය ඡන්ද ප්‍රමාණය ලැබුනේ යම් පදනමක් ඇතිවය. ඒ ගැන සලකා බැලීම වටී.

එදා පළාත් පාලන මැතිවරණය පවත්වන විට ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිසය ආණ්ඩුවේ කොටසක් විය. එහි පිරිසක් ආණ්ඩුවේ ඇමති ධූර, රාජ්‍ය ඇමති ධූර සහ නියෝජ්‍ය ඇමති ධූර දැරීය. මේ නිසාම මෙම මැතිවරණයට රාජ්‍ය බලපෑම එක් කිරීමට හැකිවීමේ වාසියද ශ්‍රීලනිපයට ලැබුණි. එහෙත් අද ඔවුන් ආණ්ඩුවේ නැත. බලය නැති තැන ජනතාව රැදෙන්නේද නැත. ඊළඟට එම ඡන්ද කාලයේ අමාත්‍ය ධූර දරා පසුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කළ විශ්වාසභංගයට පසු එම අමාත්‍ය ධූර ඉවත් වූ 20 දෙනෙකු අද ශ්‍රීලනිපයෙන් ඉවත්ව සිටියි. 6 දෙනෙකු එජාපයටත් ඉතිරි 14 දෙනා පොදුජන පෙරමුණට ගොස් හමාරය. ඉන් කිහිපදෙනෙකු පොදුජන පෙරමුණේ සාමාජිකත්වයද ලබා සිටියි.

අද ශ්‍රීලනිපයේ ඉතිරිව සිටින්නේ මන්ත්‍රීවරු 17 දෙනෙකු පමණි. ඉන් පිරිසක් ඉදිරියේදී එජාපයටත් පොදුජන පෙරමුණටත් එක් වන බව ප්‍රකට කරුණකි. ශ්‍රීලනිපයට ලක්ෂ 14ක ඡන්ද පදනමක් තිබෙනවා නම් මන්ත්‍රීවරුන් මේ ආකාරයට පක්ෂයෙන් යන්නේද නැත. පක්ෂයෙන් ඉවත්ව ගිය මන්ත්‍රීවරුන් 20 දෙනාගේ සංවිධාන ශක්තියද ඔය කියන ඡන්දය ලක්ෂ 14 ලබා ගැනීමට බලපෑවේය.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කළ ශ්‍රීලනිප අපේක්ෂකයන්ගේ පසුබිමද සලකා බැලීම වටී. එදා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කළ බහුතරය උපන් ගෙයි එජාප පාක්ෂිකයන්ය. ඔවුන්ට එජාපයේ අපේක්ෂක්ත්වය නොලැබුණ තැන ශ්‍රීලනිපය දෙසට හැරුණි. මේ නිසා සාමාන්‍යයෙන් ඡන්ද 3500ක් 4000ක් තිබෙන කොට්ඨාසයක එජාප ඡන්ද සීයක් දෙසීයක් පමණ ශ්‍රීලනිප පැත්තට පාවිච්චි විය. ඔය ලක්ෂ 14න් 7ක්ම අපේ  ඡන්ද යැයි එම මැතිවරණයෙන් පසු වත්මන් රජයේ නියෝජ්‍ය ඇමති ධූරයක් දරණ නලින් බණ්ඩාර කිව්වේ ඒ නිසාය. ශ්‍රීලනිප පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ බහුතරය කොට්ඨාස දිනා ගත් අය නොවේ. සමානුපාතික ලැයිස්තුවට අනුව පත් වූ අයය. මේ කොයි ආකාරයෙන් පැමිණියද ඉන් බහුතරය අද ශ්‍රීලනිපයෙන් ඉවත්ව ගොස්ය. පසුගිය දිනෙක ශ්‍රීලනිප සහ එජනිස නියෝජනය කළ මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරු 71න් 69ක්ම පොදුජන පෙරමුණට එක්වීම ඊට නිදසුනකි.

මේ ආකාරයට පාර්ලිමේන්තු, හිටපු පළාත් සභා සහ වත්මන් පළාත් පාලන නියෝජිතයින් අද ශ්‍රීලනිපය අත හැර පොදුජන පෙරමුණට ගොස් හමාරය. මේ මහජන නියෝජිතයින් සමඟ පක්ෂයෙන් ඉවත්ව යන්නේ ඔය කියන ලක්ෂ 14ට අයත් ඡන්දයයි. ශ්‍රීලනිපයේ සෝදා යාම කෙතරම් ඛේදජනකද යත් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබෙන වීරකුමාර දිසානායක  ශ්‍රී ලංකා කාරයෙක් නොවේ. ඔහු විමල් විරවංශගේ පක්ෂයේ කෙනෙකි. මේ නිසා ශ්‍රීලනිපය ඔය කියන ලක්ෂ 14ක ඡන්ද ප්‍රමාණය තිබෙනවද නැද්ද කියා දැන ගැනීමට දැන් අවස්ථාවක් උදා වී තිබේ. ඒ ජනාධිපතිවරණයයි. ඊට අපේක්ෂකයෙකු ඉදිරිපත් කොට ඔය කියන ලක්ෂ 14න් හතරෙන් එක් පංගුවක් හෝ ගතහොත් එය පුදුමයකි.

(මංජුල බටුගෙදර)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 September 2019 13:21

Related items