April 20, 2024

රට යන අත: එදා ජේ.ආර් - රණසිංහ ප්‍රේමදාස අද රනිල් - සජිත් ප්‍රේමදාස

September 02, 2019

දෛවය කියන්නේ හිතාගන්නත් බැරි දෙයකි. ඉන් ලැබෙන ඇතැම් සරදම් දිරවා ගන්නටත් අමාරුය. 1988 දී සිය පියා වූ රණසිංහ ප්‍රේමදාස හට එජාපයෙන් සිදු වූ අකටයුතුකම්, මදිපුංචිකම් අද සජිත් පුතටද එපා නොකියන්න ලැබෙමින් පවතී.

1988 ජනාධිපතිවරණ අපේක්‍ෂකත්ව රටේ අගමැති ලෙසත් පක්ෂයේ දෙවැන්නා ලෙසත් ලබා ගැනීමට රණසිංහ ප්‍රේමදාසට මරාගෙන මැරෙන සටනක් ලබා දීමට සිදු විය. ඒ එවකට සිටි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඇතුළු ඔහුගේ පිරිවර රණසිංහ ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලැබීම වැලක්වීමට නොකළ දෙයක් නැති නිසාය.

එදා රණසිංහ ප්‍රේමදාසගේ වාසියට බොහෝ දේ තිබිණි. ඉන් වැදගත්ම දේ වූයේ තමන් විසින්ම හදාගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දෙවතාවක් ජනාධිපති වූ ජේ.ආර් ට ජනාධිපතිවරණයෙන් පසු සියල්ල අතහැර ගෙදර යාම හැර වෙන විකල්පයක් ඉතිරිව නොතිබීමය. අනෙක අවුරුදු 82ක් වූ ජේ.ආර් ගේ වයසය. තමන්ට අපේක්ෂකත්වය නොලැබුණත් ජේ.ආර්. පක්ෂයේ ඉන්නේ නැති බව රණසිංහ ප්‍රේමදාස එදා දැනගෙන සිටියේය. මේ නිසා ඔහු හොඳින් හෝ නරකින් ජනපති අපේක්ෂකත්වය ගැනීමේ සටන අවසන් කළේ ජේ.ආර් ගේ සහෝදරියක ඇතුළු තමන්ට වල කැපීමට ජේ.ආර් ට උදව් කල මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට නිවන්සුව ද අත්පත් කර දෙමිනි. එතනින් නොනැවතුන රණසිංහ ප්‍රේමදාස ජේ.ආර් ගේ ප්‍රියතමනයන් දෙපළ වූ ජනපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටි ලලිත් ඇතුළත්මුදලි හා ගාමිණී දිසානායක ලවා සිය අපේක්ෂකත්වය යෝජනා සම්මත කර ගත්තේය.

ඉන් වසර 31කට පසු රණසිංහ ප්‍රේමදාසගේ සජිත් පුතා 2020 ජනපති අපේක්ෂකත්වය සඳහා එවැනිම සටනකට අද මුහුණ දී සිටියි. එදා සිය පියාට මෙන් නොව සජිත්ට අද මුහුණ දීමට සිදුව තිබෙන්නේ තමන්ට අවාසි පසුබිමකටය. සජිත් අද අපේක්ෂකත්වය ගත යුත්තේ එජාපයේ සියලු බලතල පක්ෂ ව්‍යවස්ථාවට අනුව තමන් වටාම ගොනු කරගෙන සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගෙනි. අනික රනිල් පසු වන්නේ 70 වන වියේය. එදා ජේ.ආර් ජනපති වූයේ 71 වන වියේය. රනිල් දෙවතාවක් තබා එක් වතාවක්වත් ජනපති වී නොමැත. එහෙත් දෙවතාවක් ජනපති තරඟයෙන් පැරදී ඇත.

රනිල් පක්ෂ ව්‍යවස්ථාව හදා තිබෙන්නේ තමන් ආරක්ෂා වන විදියටය. ඒ අතින් ගත් කළ රනිල් ජේ.ආර් ට වඩා දක්ෂය. රනිල් තමන්ගේ ආරක්ෂාවට තබා තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී කැඩපත කෘත්‍යාධිකාරි මණ්ඩලයයි. එජාපයේ ඕනෑම දෙයක් සිදු වන්නේ එහි කැමැත්තට අනුවය. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය රනිල් විසින් පත් කරන අයය. ඔවුන්ගෙන් පිරිසක් අනිත් පැත්ත ගසා විදැයි යන සැකය මත එහි පුරප්පාඩු 30ක් පමණ පිරවීමේ බලය රනිල් තමන් අත තබාගෙන සිටියි. රනිල්ගේ කැමැත්ත කෘත්‍යධිකාරී මණ්ඩලයේ කැමැත්ත වේ. රනිල්ගේ අකමැත්ත ඔවුන්ගේ ද අකමැත්ත වේ. ජනපති අපේක්ෂකයා තීරණය කරන්නේ මෙන්න මේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙනි. 

එදා රණසිංහ ප්‍රේමදාස අපේක්ෂකත්වය ජේ.ආර් ගෙන් ගත්තේ බලෙන්ය. එහෙත් රනිල්ගෙන් එය බලෙන් ගන්නට සජිත්ට බැරිය. ඒ බව සජිත් හොඳාකාරව දනියි.

එසේ නම් මුහුද හත්ගව්වක් තබා අමුඩ ගහනවා සේ තවමත් ප්‍රකාශ නොකළ ජනාධිපතිවරණයක අපේක්ෂකයා තමන් යැයි කියමින් සජිත් රට පුරා යන්නේ ඇයි ? ඒ එක්කෝ සිය පියා මෙන් ජෝතිෂ්‍යවේදීන් දුන් ලණුවක් කා ඇති නිසා වීමට පුළුවන. එසේත් නැතිනම් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ගේ ජනපති අපේක්ෂකයා සජිත් බවට දිරවා ගත නොහැකි ආකාරයේ ලණුවක් දී ඇති නිසා වීමට පුළුවන. එසේත් නැතිනම් මේ කරුණු දෙකම වීමට පුළුවන. 

(මංජුල බටුගෙදර)

Rate this item
(0 votes)