April 26, 2024

ලෝක පොලිස් කෝලමේ වෙනසක්?

අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක්ව පැවති ඇමරිකාව ලෝක පොලිස්කාරයා බවට පත්වූයේ කෙසේද?

ඒක මහදිග කථාවක් ඒ වගේම ඒකට හේතු වුණු කරුණු ගණනාවක් තියෙනවා. එකක් තමයි රටේ විශාලත්වය.

අනෙක ලෝකෙ ඉන්න හැම ජාතියක්ම ඒ රටේ පදිංචියට යාම. ඒ ඒ රටවලින් පිටුවහල් කළ මොලේ තියෙන මිනිස්සු, ධනය තියෙන මිනිස්සු මේ අළුත් රටේ පදිංචිවෙලා ඒ රට තමන්ගේ මාතෘ භූමිය බවට පත්කර ගත්තා.

මෙහෙම ක‍්‍රමයෙන් බලවත් තත්ත්වයකට පත්වෙමින් තිබියදී හිටිහැටියේ ජපන් ආක‍්‍රමණිකයා පර්ල් වරායට ගැහැව්වා. ඒ තීරණාත්මක ප‍්‍රහාරය නිසා කෝපයට පත්වුණු ඇමරිකන්කාරයා ඒ කේන්තිය අවසන් කළේ හිරෝෂිමාවටයි නාගසාකියටයි පරමානු බෝම්බ දාලා සුන්නත් දූලි කරමිනුයි. ඒ සමඟම ඔවුන්ට ලැබුණු උත්තේජනයත් එක්ක ලෝකයේ කොහේ හෝ ඒ ගොල්ලන්ට අවාසි දෙයක් වෙනවානම් වහාම මැදිහත් වුනේ “ලෝක පොලිස්කාරයා” යන නමකුත් රැගෙනයි.

ඔන්න ඔය විදිහට දේශපාලන රඟමඩලට පිවිසි මෙමීපොලිස් කෝලම ඉන් පස්සේ  ඕන තැනටයි එපා තැනටයි විතරක් නොවේ රටවල්වල අභ්‍යන්තර කටයුතුවලටත් ඇඟිලි ගහන්න ගත්තා. සමහර ඒවා දිනුවා සමහර ඒවා දාලා දුවන්නත් සිදුවුණා.

වියට්නාමය මෙයට හොඳම උදාහරණයක් ලෝක යුද්ධෙට පාවිච්චි කරපු බෝම්බ වගේ හතර පස් ගුණයක් වියට්නාමයට දැම්මා. ඒත් ජාතිමාමක වියට්කොං ගරිල්ලන් පරාජය කරන්න බැරි උනා. අන්තිමේදී පැදුරටත් නොකියා පැනල යන්න සිද්ධ උනා. මේ වගේ ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව වගේ රටවල් ආක‍්‍රමණය කළේ ඒ අයට පක්‍ෂ ආණ්ඩු හදන්න.

ඒ වගේම තවත් රටවල ඒ අයගෙන් යැපෙන දේශපාලකයින් NGO කාරයෝ වගේම ජාතිවාදය කරපින්න ගත් බලවේගවල සහාය ඇතිව පාලන වෙනස්කම් කරන්නත් ක්‍රියා කලා. කෙසේවෙතත් ලෝක පොලිස් කෝලම කරනු ලැබූ සෑම ක්‍රියාවකටම දුක්විඳින්නේ ඇමරිකන් ජනතාවයි.

ඇමරිකාව තුළ කැකෑරෙමින් තිබූ මෙම දුක් වේදනාව ජාතිකත්ව බලවේගයක් බවට ක‍්‍රමයෙන් පත්වෙමින් තිබියදී ඩොලන්ඩ් ට‍්‍රම්ප් "ඇමරිකා ෆස්ට්" (America First) යන චින්තනය පෙරට රුවා ගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් උනා.

එතෙක් ලෝක පොලිස් කෝලම මෙහෙයවූ ඔබාමා-හිලරි ක්ලින්ටන් පිලට හිමිවුනේ නොසිතූ අන්දමේ පරාජය. ට‍්‍රම්ප්ගේ ආගමනයත් එක්ක කුණු කඳුවලට ඇඟිලි ගැහීම බොහෝදුරට අඩු වුවත් අර පරණ බලවේග තවමත් එහෙමමයි. ලංකාවේ දක්නට ලැබුනේ එහෙම වාතාවරණයක්.

ඒත් පහුගිය ඉරිදා දිවයින පත්තරේ සුභදායී පුවතක් පළ වුණා. ඒක ගොනුකොට තිබුනේ අපගේ රටේ ආරක්‍ෂාව ගැන මහත් සේ උනන්දුවක් දක්වන ඒ වගේම ජිනීවා මානව හිමිකම් සටන් බිමට පිවිසි අභිත මාධ්‍යවේදියෙකු වන කීර්ති වර්ණකුලසූරියයි.

ඒ පුවත මෙහෙමයි. ශ්‍රී‍ ලංකාවට එරෙහි ඇමරිකන් කාර්යාලයේ පිළිවෙත මුළුමනින්ම වෙනස් කරමින් ලබන ජූලි මස සිට ඇමරිකන් තානාපති අතුල් කේශාප් සහ දේශපාලන කටයුතු භාර නිළධාරියා ඇතුලූ 40ක පිරිසක් මෙරටින් ඉවත් වෙයි.

ඒ පුවත අනුව ඔවුන් වෙනුවට ලංකාවේ වැඩ භාරගන්නේ ජනාධිපති ට‍්‍රම්ප්ගේ චින්තනය ක්‍රියාත්මක කරන අනුප‍්‍රාප්තිකයින් පිරිසක්.

මේ අනුව ඔබාමාගේ අනුගාමිකයාවූ අතුල් කේශප් ඇතුළු පිරිස ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වී යැයි දියත් කළ මෙහෙයුම් නතර වන බව යනු වැඩිදුරටත් පවසයි.

ඇත්තෙන්ම මෙම වෙනස සිදුවීම අග ප‍්‍රවෘත්තියක් වුවත් අපේ රටේ ඉන්න ඔබාමා ගැත්තන් හා තම තමන්ගේ අරමුණු සහිත පාලකයින් මෙම වෙනසට කොයි අන්දමට ප‍්‍රතිචාර දක්වයිද යන්න ප‍්‍රශ්ණයක්?

අපේ ජනතාවගේ දුක සැප ගැන හිතලා ඒ වගේම රටේ සම්පත් බටහිරට විකිණිම නවත්වලා තමන්ගේ සුගතිය වෙනුවට රටේ සුගතිය ගැන හිතලා පාලකයින්ට ට‍්‍රම්ප්ගේ චින්තනය ඉතාම වැදගත් බව විශේෂයෙන් සඳහන් කල  යුතුයි.

විජය ආරියරත්න විසිනි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 May 2018 13:11