November 22, 2019

ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක, හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා හදිසියේ රෝගාතුර වීමෙන් අද (22) බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කළේය.

බලංගොඩ නගරයේ ජනාධිපතිවරණ රැස්වීමකට පැමිණ අවසන් කර පිටත්ව යෑමට ගිය අවස්ථාවේ දී ඒ මහතා මෙලෙස රෝගාතුර වී තිබේ.

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනපති අපේක්ෂක හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතාට තමන් සමඟ එක්වන ලෙසත් එසේ එක්වන්නේ නම් තමාගේ රජයක් යටතේ ආරක්ෂක අමාත්‍යංශය ලබා දිය හැකි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මහේෂ් සේනානායක මහතා වෙත යෝජනා කර ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ. 

එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව තිබෙන අප්‍රසාදය වඩාත් ත්‍රීව්‍ර කිරීම මෙම යෝජනාව හේතු වී තිබේ. 

සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම ඉල්ලීම මහේෂ් සේනානායක මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

තම කණ්ඩායමේ දේශපාලන ගමන නොවැම්බර් 16 වැනිදා නොනවතින බවත් ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ඉදිරියටම යන බවත් හිටපු යුද හමුදාපති , ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප‍්‍රකාශ කළේය.

දේශපාලනයට අවතීර්ණ වූ තම කණ්ඩායමේ වෙනස වන්නේ දේශපාලකයන් සිටින රටක තමන් දේශ සේවකයෙක් වීම යැයි ද සේනානයක මහතා කියා සිටියේය.

ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කරන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මේ වනවිට සකසා නිමවෙමින් පවතිතැයි ද ඉදිරි දින කිහිපයේ දී එය ජනතාව අතට පත් කරනන්ට සූදානමින් සිටන බව ද ඔහු සඳහන් කළේය.

ගමන් මග කුමක් දැයි එයින් හෙළි වනු ඇති බවත් ජාතික ආරක්ෂාව ආහාර ආරක්ෂාව ආර්ථික ආරක්ෂාව ආදී ආරක්ෂාවන් රැසක්  ගැන තම ප‍්‍රතිපත්ති තුළ සාකච්ඡා කරන බවත් හෙතෙම කියා සිටියේය.

මහේෂ් සේනානයක මහතා මේ අදහස් පල කළේ අපේක්ෂකත්වයට  පත්වීමෙන් පසු පැවැත්වූ පළමු මාධ්‍ය හමුවේදීය. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (08) මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ සේනානායක මහතා නිර්පාක්ෂික ස්වාධීන ජනතා අපේක්ෂකයෙක් වන තමන් ජාතික ජනතා ව්‍යාපාරය ජනතා සභාව වැනි සංවිධාන 30 කට ආසන්න ප‍්‍රමාණයක් එක්ව සිටින බවත් ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් වීමට පක්ෂයක් අවශ්‍ය නිසා ජාතික ජනතා පක්ෂයෙන් ඉදිරිපත් වූ බව ද කීය.

වසර 71 ක් තිස්සේ මේ රටේ සිදුවී ඇති දේශපාලන සංස්කෘතිය නිසා රට ගොස් ඇත්තේ ඉදිරියට නොව පසුපසට යැයි කී ඔහු නැවත නැවත එයම සිදුවෙමින් පවතිතැයි ද කීය.

මෙහිදී සෑම පුරවැසියෙකුටම තම යුතුකම් රට වෙනුවෙන් ඉටුකිරීමේ වගකීමක් ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

යුද හමුදාපති ලෙස සතුටින් විශ‍්‍රාම ගත් නමුත් රටේ ඇති වී ඇති හා ඇති වෙන්නට යන ව්‍යසනය දැකීමෙන් පසු රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුය යන අදහසින් මෙසේ ඉදිරිපත් වූ බව ද ඔහු සඳහන් කළේය.

මේ වනවිට අතිශය පැරණි යල් පැන ගිය දූෂිත හා අසාර්ථක දේශපාලන ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක වන බව පැහැදිලි යැයි ද ජාති ආගම් කුල වලට බෙදීම මේ වාට බොහෝ හේතුවන බවත් පෙනී ගියේ යැයි ද එම තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය බැවින් මෙසේ සිවිල් සංවිධාන සමඟ එක්ව සටන් කිරීමට තීරණය කළ බව ද සේනානයක මහතා  ප‍්‍රකාශ  කළේය.

නාම යෝජනා පත‍්‍රය භාර දෙන්නට යන අවස්ථාව දක්වා බොහෝ දෙනා එය නැවැත්වීමට කටයුතු කළ බවත් එසේ වුවත් එය වළක්වන්නට කිසිවෙකුටත් නොහැකි වූ බවත් හෙතෙම පැවැසීය.

රට අඳුරින් අගාධයකට යමින් සිටියදී ඊට ආලෝකයක් දෙන්නට අවස්ථාව ලැබුණු බැවින් මැතිවරණයේ දී තම සළකුණ ලෙස විදුලි බුබුල තෝරාගත් බව ද සේනානයක මහතා කීවේය.

ඉදිරි පරම්පරාවට සේවය කිරීම තමන්ගේ අරමුණ වන අතර එහි දී පවුල මම  කියන දේ නොව රටේ  සියලූ පළාත්වල ජනතාවට සේවය කිරීම අරමුණ බව ද ඔහු සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව ගැන දැන් දැන් සියලූ දෙනා කතාකරන්නේ යැයි ද එහි ඇති දුර්වල කම් ගැන තමන් පෙන්වා දී ඇතැයි ද කී සේනානයක මහතා තමන් ජනපති ලෙස ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ දී විශ‍්‍රාමික ආරක්ෂක ප‍්‍රධානීන් ද ඇතුළුව අදාල අංශවල අදහස් ද ලබාගෙන කටයුතු කරන බව ද කියා සිටියේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන අදහස් දැක්වූ සේනානයක මහතා එහි බලතල අඩුයැයි මතයක් පැවැතියත් එසේ නොවන බවත් තිබෙන බලතල සමඟ බොහෝ දේ කළ හැකි බවත් පැවසීය.

තමන් පත් කරන අගමැතිවරයා තමන් නොදන්නේ යැයි ද මැතිවරණයකින් පසු ජනතාව විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා අගමැති වනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

සැබැවින්ම 19 වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ විධායක බලතල වෙනස් වී නැති තරම් යැයි ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.

තමන්ට නාම යෝජනා දෙන්නට බැරි වුණේ මහේෂ් සේනානයක මහතා නිසා යැයි නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසා තිබෙනවා නේදැයි මාධ්‍යවේදියෙකු එහි දී කළ විමසීමට පිළිතුරු දුන් සේනානයක මහතා එවැන්නක් ගැන තමන් නොදන්නා බවත් තමන් ගරු කරන පුද්ගලයෙකු වන ඔහු ඉදිරියේ දී තමන් සමඟ එක්ව මෙම මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව ද කීය.

ජනාධිපති තරඟයෙන් දිනුවොත් නව ව්‍යන්‍ස්ථාවක් සකස් කරන්නේ දැයි කළ විමසීමට පිළිතුරු දෙමින් සේනානායක මහතා කියා සිටියේ එය ජනාධිපතිවරයාගේ කටයුත්තක් නොවන අතර පාර්ලිමේන්තුව විසින් එය කරනු ඇතැයි ද ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසන බව ද පැවසීය.

2010 දී රටින් පිටවී ඇමරිකානු හමුදාවට සම්බන්ධව රැකියාවක් කළ බවට චෝදනාවක් තිබෙනවා නේදැයි කළ විමසීමකට පිළිතුරු දුන් හෙතෙම කියා සිටියේ පැවති වාතාවරණය යටතේ ආරක්ෂාව පතා රටින් පිටවූ බවත් ඇමරිකාවේ නොව ඩුබායි හි ගුවන් සමාගමක කාගෝ අංශයේ රැකියාවක් කළ බවත් පෙන්වා දුන්නේය. එකී සමාගම ඇමරිකානු හමුදාවට භාණ්ඩ සැපයූ අතර තමන් රැකියාව ලෙස එම භාණ්ඩ අදාල රටවලට ගෙන ගොස් භාරදීම කළ බවද ඔහු පැවසීය.

මෙම මාධ්‍ය හමුවට හිටපු විගණකාධිපතිවරුන් වන සරත් මායාදුන්නේ සහ ගාමිණි විජේසිංහ, නීතිඥ ක‍්‍රිෂ්මාල් වර්ණසූරිය, ආචාර්ය අනුර උතුමන්ගේ, ආචාර්ය අජිත් කොලොන්නේ, නීතිඥ ගාමිණි නන්ද ගුණවර්ධන, රංගවේදී කමල් අද්දරආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

තමා වැනි පුද්ගලයෙකු රටේ ජනාධිපතිවරයා ලෙස පත් කිරීම මඟින් රට තුළ මනා විනයක් සකස් කර ගැනීමට හැකියාව පවතින බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.

ඔහු පවසන්නේ දියුණු බොහෝ රටවල නායකත්වය ගෙන ඇත්තේ යුධ හමුදා නිලධාරින් බවයි.

කැළිණිය විහාරස්ථානයේ ආගමික වතාවත්වලට එක්විමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහේෂ් සේනානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

හිටපු යුද  හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජනතා ව්‍යාපාරය විසින් තරඟ වදින බව  අද (29) සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස  නම් කරනු ලැබීය.

ඒ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන එම ජාතික ජනතා ව්‍යාපාරයේ විශේෂ සමුළුවේදීය.

රටේ වෙනසක් ඇති කිරීම සඳහා නායකත්වය දීමට තමා කැමැත්තෙන් පසුවන බව හිටපු යුද හමුදාපති ජෙනරල් මහේෂ් සේනානායක මහතා පවසයි.

ඒ මහතා සඳහන් කර ඇත්තේ උගතුන්, බුද්ධිමතුන්, ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසකගෙන් සැදුම්ලත් විකල්ප කණ්ඩායමේ නායකත්වය ගන්නැයි තමාට ඇරයුම් කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට අධ්‍යනය කරමින් සිටින බව මහේෂ් සේනානායක මහතා පවසා ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ ඉදිරි දින කිහිපය ඇතුලත ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.

තමා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස නම් කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ද හිටපු ජෙනරල් මහේෂ් සේනානායක මහතා අවධාරණය කළේ ය.

වසර 38ක් සේවය සේවා කාලයකින් අනතුරුව විශ්‍රාම යන මොහොතේ තමා රට වෙනුවෙන් සිදු කල මෙහෙවර පිළිබඳ සෑහීමකට පත් වෙන බව හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.

ඊයේ (26) මහනුවර ශ්‍රී දළඳා මාලිගය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

පසුගිය කාලය පුරා යුද හමුදාව කෙරෙහි මෙන්ම තමන් කෙරෙහි ජනතාව තැබූ කැමැත්ත සම්බන්ධයෙන් ස්තූතිය පිරි නමන බවද පැවසු හිටපු යුද හමුදාපතිවරයා, මෙය සිංහල බෞද්ධ රටක් බවත්, එහි ඉන්නේ ශ්‍රී ලාංකීක නැමති පවුල බවද පැවසීය.

මේ රටේ ජීවත් වෙන සිංහල, මුස්ලිම්, හින්දු යන ඕනෑම අයෙක් මේ පවුල තුළ සිටිය හැකි බවත් පැවසු හිටපු හමුදාපති වරයා, සිංහල ජනතාව සෑම විටම පවුලක තාත්තාගේ කාර්යභාරය ඉටු කළ යුතු බවත්, තාත්තා නිරන්තරයෙන් පවුලේ සෙසු සාමාජිකයින් රැක ගත යුතු බවත් සඳහන් කළේය.

විශ්‍රාම ගියත් තමාට තවමත් රටට සේවය කිරීමට ශක්තිය හා ජවය ඇති බවත් පැවසු මහේෂ් සේනානායක මහතා, නිරන්තරයෙන් තමා රටේ ඉදිරි කටයුතු සඳහා එකතු වෙන බවත් පැවසීය.

දේශාපාලනයට එන්න අවස්ථාවක් හිමි වුවහොත් එවැනි තීරණයක් ගන්නේ දැයි මෙහිදී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් හිටපු හමුදාපතිවරයා පවසා සිටියේ, දේශපාලනයට එන්නේ නැතුව ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් වැඩ කළ හැකි බවයි.

 “දේශයට වැඩක් කරනවා නම් මම එතැන“ යනුවෙන්  ද පැවසු සේනානායක මහතා, පක්ෂයකට බැඳී සේවය කිරීම එයින් අදහස් නොකරන බවද පැවසීය.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියට ජනාධිපතිවරයා ගෙන්වීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් හිටපු හමුදාපතිවරයා පවසා සිටියේ, රටේ පුරවැසියෙක් ලෙස ජනාධිපතිවරයා එයට ඉදිරිපත් විය යුතු බවයි.

බැරෑරුම් කාල රැසක හමුදාපති ධූරයේ සිටීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු හමුදාපතිවරයා පවසා සිටියේ, යුද හමුදාව ජනතාවගේ බවත් කිසිවිටෙකත් යුද හමුදාව පක්ෂයක් නියෝජනය නොකරන බවත් ය.

හමුදාවේ විනය තුළින් තමා සියලු අභියෝගවලට සාර්ථකව මුහුණ දුන් බවත් වැඩිදුරටත් පැවසු මහේෂ් සේනානායක මහතා, තමාට ඇති ජවය අනුව ඕනෑම මොහොතක රට වෙනුවෙන් සේවය කිරීමට කැමති බවත් ඒ ගැන ජනාධිපතිවරයාට දන්වා ඇතැයි ද පැවසීය.

තානාපති සේවයට යෑමට බලාපොරොත්තු වන්නේ ද යන්න පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.

එවිට මහේෂ් සේනානායක මහතා කියා සිටියේ, යුද හමුදාපතිවරයෙක් කොහොමත් තානාපති ධූරයක් බවයි.

මේ අතර, ෆීල්ඩ් මාර්ෂල් තනතුර ද අදහස් දක්වමින් එතුමා කියා සිටියේ, තමාට එවැනි තනතුරක් දැරීමට තමාට සුදුසුකමක් නොමැති බවත් යුද්ධයක් ඇති විටෙක සිටින හමුදාපතිවරයෙකුට එය පිරිනැමෙන අතර, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එම තනතුර ලැබිය යුතු බවත් කියා සිටියේය.

එදා සරත් ෆොන්සේකා මහතා යුද හමුදාවට අණ නොදුන්නේ නම් අද කථා කිරීමට ඇති නිදහස උදා නොවෙනු ඇතැයි ද පැවසු ඒ මහතා, රටේ නැවතත් යුද්ධයක් ඇති නොවේවා යන්න තම ප්‍රාර්ථනය වන බවත්, එනිසා නැවත වතාවක් ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් අවශ්‍ය නොවන බවත් පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සමහරුන් හුවමාරු කරගෙන තිබූ බුද්ධි තොරතුරු තමාට දැනගන්නට ලැබුණේ ඒ ප්‍රහාරයෙන් පසුව විවිධ සමාජ මාධ්‍යවලින් යැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (31) පැවැසීය.

එවැනි වටිනා තොරතුරක් යුද හමුදාපතිවරයා හැටියට තමාට නොදැන්වීම ගැන කනගාටුවන බව කී සේනානායක මහතා එම තොරතුරු ලැබුණා නම් ස්ථිරයෙන්ම තමා ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රකාශ කළේය.

මේ කාරණය සම්බන්ධයෙන් යුද හමුදාව විශේෂ පරීක්ෂණයක් පැවැත්වූ බවත් තමා පමණක් නොව යුද හමුදාවේ වෙනත් කිසිදු නිලධාරියෙකු හෝ ඒ තොරතුරු ගැන දැනුම්වත්ව නොසිටි බව ඉන් තහවුරු වූ බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

ආරක්ෂක මණ්ඩලයේ දී කතා කළ යුතු සමහර දේවල් එම මණ්ඩලයේ රැස්වීම්වලට පිටස්තර අය පැමිණීම නිසා කතා කිරීමට නොහැකිවුණු බව කී යුද හමුදාපතිවරයා සමහර කරුණු තමා කථා කළේ ඒ පිටස්තර අය පිටව ගියාට පසුව බවද සඳහන් කළේය.

ආරක්ෂක මණ්ඩල රැස්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගිවීම අවශ්‍ය නොවන බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියන්නේ රාජ්‍ය නොවන බවත් ඔහු කියා සිටියේය.

ජාතික බුද්ධි ප්‍රධානියාට නිශ්චිත බලයක් නොතිබූ බව කී යුද හමුදාපතිවරයා ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශය හා යුද හමුදාව අතර පසුගිය කාලයේදී පැහැදිලි අවිශ්වාසයක් ගොඩනැගී තිබූ බවද ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදයට ක්‍රියාත්මක විමට කාල වේලාවක් නොමැති හෙයින් රටේ ආරක්ෂක හමුදාවන් ඕනෑම මොහොතක සුදානමින් සිටින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

යුද හමුදාපති වරයා ඒ බව සඳහන් කළේ ඊයේ (18) පෙරවරුවේ රාගම පැවති වැඩසටහනකට එක් වෙමිනි.

රටේ ආරක්ෂාව මේ වන විට සාමකාමී තත්ත්වයට පත්ව ඇති බවත් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාන්විතයන් තවදුරටත් සිදු කෙරෙමින් පවතින බවත් ඒ මහතා පවසයි.

කෙසේ වෙතත් මේ වන විට මුහුණ පෑමට ඇත්තේ ගෝලීය ත්‍රස්තවාදයකට බැවින් ත්‍රස්තවාදය අවසන් වන දින වකවානු නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් සියලු දෙනාටම සාමය උදාකිරීමට කටයුතු කරන බැවින් හමුදාව කෙරෙහි විශ්වාසය තබා ගන්නා ලෙස ඒ මහතා ප්‍රකාශ කරයි.

එසේම ජනතාව ද ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් විය යුතු අතරම ආරක්ෂක අංශ වෙත සහයෝගය ලබා දිය යුතු බවත් යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

බුද්ධි අංශ සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා ගැනීම සඳහා පාස්කු ප්‍රහාරය ගැන සොයන තේරීම් කාරක සභාවෙන් මීට ටික වේලාවකට පෙර ජනමාධ්‍ය ඉවත් කරනු ලැබීය.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අද දහවල් කමිටුව හමුවේ සාක්කි ලබාදීම ආරම්භ කළේය. 

පාස්කු ප්‍රහාරයෙන් පසු කරගෙන යන පරීක්ෂණවලට යම් ඇමැතිවරයෙක් හෝ දේශපාලනඥයෙක් හෝ යම් පුද්ගලයෙක් බලපෑම් කළාද  විශේෂ කාරක සභාව යුද හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කළේය.  ඊට පිළිතුරු දෙමින් යුද හමුදාපතිවරයා මෙසේ ද කීවේය.

‘‘අප්‍රේල් 21 මෙම සිද්ධිය වුණාට පස්සේ මම යුද හමුදාව ආරක්ෂක රාජකාරිවල යෙදෙව්වා. ලැබුණු උපදෙස් අනුව සහ මගේ තියන බලතල අනුව යුද හමුදාව පරීක්ෂා කිරීම්, වටලා පරීක්ෂා කිරීම්, සෙවීම් , අත්අඩංගුවට ගැනීම් සිදු කළා. ඒ අවස්ථාවේ මේ වසරේ අප්‍රෙල් 26 වැනි දා දෙහිවල ප්‍රදේශයේදී ඉෂාම් අහමඩ් කියලා පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා. මට මතක නෑ එදාමද ඊට පහුවදාද කියලා ගරු රිෂාඩ් බදියුදීන් අමාත්‍යතුමා මට දුරකතන ඇමතුමක් දුන්නා. මගේ අංකය සෑම කෙනෙක්ම දන්නවා. ඇමතිතුමා මම අඳුනනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් ඇමැතිවරුන් බොහෝ දෙනකු  මම යුදහමුදාපති හැටියට දන්නවා. රටේ ජනතාවත් දන්නවා. ඒ නිසා ඒ අය පෞද්ගලිකව මට කතා කරනවා. මේ සිද්ධියට පමණක් නෙමෙයි වෙන දේවල්වලටත් මාත් එක්ක කතා කරලා තියෙනවා. එදින එතුමා මගෙන් කතා කරලා ඇහුවා මේ කියන පුද්ගලයාගේ නම කියලා අත්අඩංගුවට ගත්තද කියලා. ඒ අවස්ථාවේ මම කිව්වා මම එහෙම කියන්න දන්නේ නෑ, මම ඒ ගැන සොයා බලා දැනුම්වත් කරන්නම් කිව්වා. 

දෙවැනි වතාවටත් මට කතා කළා. මම කිව්වා මම  තවම සොයනවා, මට මේ වෙලාවේ උත්තරයක් දෙන්න බෑ කියලා.  ඒ අවස්ථාවේ කොළඹ ප්‍රදේශයේ රාජකාරි කළේ විශේෂ බලකාය. ඒ වෙලාවේ මම ඇහුවා මෙහෙම පුද්ගලයෙක් අත්අඩංගුවට අරං තියනවද කියලා. ඒ පුද්ගලයා අරගෙන තිබෙන බව මට තහවුරු වුණා. 

නැවත වතාවක් එතුමා හවස් වරුවේ කතා කළ වෙලාවෙදි මම ‘ඔව් අත්අඩංගුවට අරං තියනවා, ඔබතුමා මට මේ කෝල් එක දෙන්න ඕනා තව අවුරුදු එක හමාරකට පස්සේ‘‘ කියා කිව්වා. ඒක සුහද සාකච්ඡාවක්. මම එතනදි අදහස් කළේ ඒ තියන බලතල අනුව ඕනෑම අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පැය 24ක් ඇතුළත   ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දිය යුතුයි. මම දන්නවා ත්‍රස්තවාදය වැලැක්වීම යටතේ පරීක්ෂණ සඳහා ඔහු  ඊට පස්සේ වසර එක හමාරක් දක්වා වුණත් රඳවාගන්න හැකියාවක් තිබෙනවා.  කිසිම වෙලාවක එතුමා මට බලකිරීමක් කළේ නෑ. මගෙන් අසාසිටීමක් කළා. සමහර අවස්ථාවලදි මම පාවිච්චි කරලා තියෙනවා මගෙන් ඉල්ලීමක් කළා කියලා. තුන් වැනි අවස්ථාවේ එතුමා මට කිව්වා මේ පුද්ගලයා එතුමා යටතේ වැඩ කරන උසස් නිලධාරියෙක්ගේ පුතෙක්, එම නිසා පොඩ්ඩක් හොයලා බලන්න මොකක්ද කරන්න පුලුවන් කියලා. එහෙම නැතුව කිසිම අවස්ථාවකදී ඇමතිතුමා හෝ වෙන දේශපාලනඥයෙක් හෝ රජයේ නිලධාරියෙක් හෝ මේ දක්වා මට කිසිම බලපෑමක් ඇති කරලා නෑ. මේ කියන ඇමතිතුමාත් කිසිම අවස්ථාව මට බලපෑම් කළේ නෑ. ‘‘

කාරක සභිකයෙක් -  වෙන කවුරුන් ඇමතිවරයෙක් හෝ ඔබට බලපෑම් කරලා තියෙනවද?

යුද හමුදාපති - අතිගරු ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් කිසිම ඇමතිවරයෙක් මේ වෙනකම් මට බලපෑම් අති කරලා නෑ . 

යුද හමුදාපතිවරයාගෙන් සාක්කි ලබා ගැනීම ආරම්භ වී මිනිත්තු 18කට පමණ පසු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රශ්නයක් යොමු කළේය.

ෆොන්සේකා මහතා - අයිඑස්අයිඑස් උවදුර රටට බලපාන්න පටං අරන් නම් ඒකට මුහුණ දෙන්න බුද්ධි අංශ ප්‍රතිසංවිධානයක් කරන්න කොච්චර කල් යනවා කියලද ඔබ හිතන්නේ?

රවී කරුණානායක මහතා - ෆීල්ඩ් මාර්ෂල් ඇහුවේ වැදගත් ප්‍රශ්නයක් නිසා අපි මාධ්‍ය මෙතනින් පිටකරමු.

කාරක සභිකයෙක් - මාධ්‍යවල මහත්වරු කරුණාකරලා පොඩ්ඩක් ඉවත්වෙන්න. මෙය සංවේදී ප්‍රශ්නයක් කියලා අපි හිතනවා. ඒ නිසා ඔබතුමාලා මෙතනින් ඉවත් වෙන්න. 

ෆොන්සේකා මහතා - එහෙනම් අපි මාධ්‍ය හිටියට කමක් නැති ප්‍රශ්න දෙක තුනක් තියෙනවා ඒක අහමු.

කාරක සභිකයෙක් - මාධ්‍ය ඉවත් කරලා අහන ප්‍රශ්න ඔබතුමා දැන් අහන්න.

ඉන් පසු ජනමාධ්‍ය ඉවත් කර සාක්කි ලබා ගැනීම ආරම්භ විය.

Page 1 of 2