April 26, 2024

20 සම්මත වුණොත් අගමැති මහින්ද පඹයෙක් - කිරිඇල්ල

September 26, 2020

‘20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඡුන්දය දෙනවා කියන්නේ අපේ අනාගත පරම්පරාව පාවාදිමක්. 20 වන සංශෝධනය යටතේ මැතිවරණ කොමිසම, අධිකරණය, රාජ්‍ය සේවා කොමිසම, නිතිපති තුමා, විගණකාධිකාරි තුමා, රජයේ ඉත්තන් බවට පත්වෙනවා’ යයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

‘අපි හැමදාම ස්වාධීන කොමිෂන් ඇතිකරන්න ඡන්දය දුන්නා. නමුත් මේ ආණ්ඩුවේ අය ස්වාධීන කොමිෂන් ඇති කරන්නත් ඡන්දය දුන්නා, ස්වාධීන කොමිෂන් නැති කරන්නත් ඡන්දය දෙනවා. මේ අයට කිසි ප‍්‍රතිපත්තියක් නැහැ. ස්වාධීන කොමිෂන්වල අඩු පාඩු තියෙනවානම් ඒවා නිවැරදි කරගත යුතුයි. නමුත් ස්වාධීන කොමිෂන් අහෝසි කිරීම බරපතල වරදක්. අපි නැවත රට ගල් යුගයට රැගෙන යාමක්.

ඒ විතරක් නොවෙයි, වයවස්ථාදායක සභාව තියෙනකොට අතිගරු ජනාධිපතිතුමා පත් කිරිම් සම්බන්ධයෙන් නමක් යෝජනා කරනකොට ඒ නම ප‍්‍රතික්‍ෂේප කරන්න ව්‍යවස්ථාදායක සභාවට බලය තිබුණා. මට මතකයි මෑත කාලයේදි එහෙම නමක් ප‍්‍රතික්‍ෂේප කලේ නැහැ. නමුත් විධායක ජනාධිපති තුමා යෝජනා කරන නමක් ප‍්‍රතික්‍ෂේප කිරිමේ බලය ව්‍යවස්ථාදායක සභාවට තිබුණා. මැතිවරණ කොමිසමේ නිලධාරින්, රාජ්‍ය සේවා කොමිසමේ නිලධාරින්, පොලිස්පති තුමා, නිතිපතිවරයා, විගණකාධිකාරිවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉහළ පත්කිරිම් වැනි සියළු ඉහල නිලධාරින් පත්කිරිමේදි ව්‍යවස්ථාදායක සභාවට ඒ සම්බන්ධයෙන් බලය තිබුණා. ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ගරු කථානායක තුමා, අගමැති තුමා, විපක්‍ෂ නායක, සිවිල් සමාජයේ 3 දෙනෙකුගෙන් ව්‍යවස්ථාදායක සභාව සමන්විතවූ බව පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.

ජනාධිපති තුමාගේ නිර්දේශ කිරලා, මැනලා, බලලා, තින්දුවක් ගන්නයි ව්‍යවස්ථාදායක සභාව බිහි කලේ. ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හා උසස් නිලතලවලට නිලධාරින් පත් කෙරුවාම සෙනෙට් සභාව ඉදිරියට යන්න ඕනි. ඒ අය අහන ප‍්‍රශ්ණ වලට උත්තර දෙන්න ඕනි. ඒ විතරක් නෙවෙයි. මුළු රටටම මේවා සජීවීව පෙන්නනවා. එහෙමයි නිලධාරින් තක්සේරු කරන්නේ.

20 වෙනි සංශෝධනය රට ආපස්සට යාමක්. පාර්ලිමේන්තුවේ බලතල නැති වෙනවා. අද අගමැති වශයෙන් පත් වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන පුද්ගලයයි. නමුත් මේ සංශෝධනයෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණන් නැතත්, ජනාධිපතිට ඕන කෙනා පත් කරන්න පුළුවන්.

20 වන සංශෝධනය යටතේ අගමැතිට කිසිම බලයක් නැහැ. පාර්ලිමේන්තුවත් පඹයෙක්, අගමැති පඹයෙක්, උසස් රාජ්‍ය නිලධාරිනුත් පඹයෝ බවට පත් වෙනවා. මේක ජාත්‍යන්තර වශයෙන් අපට බලපානවා. දැනටමත් ජාත්‍යන්තර සංවිධාන මේ සංශෝධනය අධ්‍යනය කරමින් සිටිනවා. 20 වන සංශෝධනයට ඡුන්දය දෙනවා කියන්නේ අපේ අනාගත පරම්පරාව පාවාදිමක්. මේ රටේ ඉතිහාසය ලියනකොට 20 වන සංශෝධනයට ඡුන්දය දිපු අය වැටෙන්නේ කුණු බක්කියට බව මම මතක් කරනවා.

Rate this item
(0 votes)

Related items