April 16, 2024

කඩාවැටුණු ගොඩනැගිල්ලේ හිමිකරුගේ ප්‍රකාශය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ප්‍රතික්ෂේප කරයි

September 22, 2020

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවත ප්‍රදේශයේ කඩා වැටුණු පස්මහල් නිවස ඉදිකිරීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අනුමැතිය ලබාදුන් බවට එම නිවසේ හිමිකරු වන හිටපු බස්නායක නිලමේවරයෙකු වූ අනුර ලෙව්කේ මහතා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ඩී.ටී රාජසේකරන් මහතා පවසයි. 

මේ අතර එම අනතුරින් ජීවිතක්ෂයට පත් අඹුසැමි යුවළ සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති බිලිඳාගේ දේහයන් ඊයේ (21) රාත්‍රියේ ඥාතීන් වෙත භාර දී තිබේ.

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස්මහල් නිවසක් ඊට පහළින් පිහිටි කුඩා හෝටලයක් සහිත නිවසක් මතට කඩා වැටීමෙන් අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති බිලිඳාට දිවි අහිමි විය.

පසුගියදා අලුයම මෙම කඩාවැටීම සිදු වූ අතර යුවළගේ මළ සිරුරු සුන්බුන් අතරින් ඉවතට ගත හැකි වූයේ පැය අටකටත් පසුවය.

කඩාවැටුණු නිවස අයත්ව තිබුණේ දොඩංවල නාථ දේවාලයේ හිටපු බස්නායක නිළමේවරයෙකු වූ අනුර ලෙව්කේ මහතාටය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නියෝජිතයන්ද අදාළ ස්ථානය නිරීක්ෂණය කළ අතර එහි භූ විද්‍යාඥයන් ප්‍රකාශ කළේ පස්මහල් නිවස ඉදිකිරීමේදී භූමියේ පවතින තත්ත්වය කිසිසේත්ම සැලකිල්ලට ගෙන නොමැති බවය.

කෙසේවෙතත්, නිසි අනුමැතින්ගෙන් තොරව නිවස ඉදිකළ බවට එල්ල කෙරෙන චෝදනා නිවසේ හිමිකරු ප්‍රතික්ෂේප කරයි.

Rate this item
(0 votes)