March 29, 2024

ලෝක නිවාස දිනය දා නිවාස සිහිනයට ආරම්භයක්

September 22, 2020

මෙරට තරුණ පරපුරේ නිවාස සිහිනය යථාර්තයක් කරමින් ඔවුන්ට සහන මිලට හොඳ නිවසක් ලබා ගැනීමේ අවස්ථාව කඩිනමින් උදාකර දෙන බව, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

අතිගරු ජනාධිපතිවරයාගේ උපදෙස් මත දේශීය බැංකු සම්බන්ධ කර ගනිමින් 6.25% ක් වැනි පොළියක් යටතේ වසර 30 කින් පමණ ගෙවා නිම කිරීමට නිවාස ලබා දීමේ වැඩසටහන කඩිනමින් දියත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා බවද ප්‍රකාශ කළේය.

වත්මන් රජය මෙම ව්‍යාපෘති දියත් කරන්නේ භූමිය රැක ගනිමින්, සියලු පාර්ශව එකතු කර සාකච්ඡා කොට අනාගතයේදී කිසිදු ගැටළුවක් ඇති නොවන පරිදි බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, ලෝක ජනාවාස දිනයට සමගාමීව ගම්පහ, යක්කල, වැරැල්ලවත්ත ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත නව මහල් නිවාස ව්‍යාපෘතිය පිළිබඳව පැවති විශේෂ සාකච්ඡාවට සහභාගී වෙමිනි.

විෂය භාර අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ඔක්තෝබර් මස 05 වනදා එනම් ලෝක ජනාවාස දිනයදා මෙම මහල් නිවාස ව්‍යාපෘතියට මුල්ගල තබා වැඩ ආරම්භ කිරීමට නියමිතය. ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය එක්ව මෙය ක්‍රියාවට නංවයි.

මෙම මහල් නිවාස ව්‍යපෘතිය ඉදි කිරීමේදී ඇතිවන ගැටළු මග හරවා ගනිමින් රාජ්‍ය ආයතනවල වැඩි දායකත්වයක් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ අතර ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත ඉඩම සහ එහි සැලසුම නිරීක්ෂණය කිරීමද මෙහිදී සිදුවිය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් මෙම ඉඩමේ මුළු භූමි ප්‍රමාණය අක්කර 3 කි.

වත්මන් රජයේ සපිරි මහල් නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිවන පළමු නිවාස සංකීර්ණය මෙය වන අතර මෙහි නිවාස 300කට වැඩි ප්‍රමාණයක් ඉදිවේ. මෙම වැඩසටහන යටතේ ඉදිරියේදී දිවයින පුරා මෙවැනි මහල් නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා යන මහත්වරුන් සහ රාජ්‍ය ආයතනවල නිළධාරීන් රැසක් සහභාගි වූහ.

Rate this item
(0 votes)