March 28, 2024

පාස්කු ප්‍රහාරයේ වගකීම භාර ගන්න, තානාපතිකමත් එක්ක සියලු වරප්‍රසාද දෙන්නම් - හිටපු ජනපති පුජිත්ට යෝජනා කළා

September 19, 2020

පාස්කු ප්‍රහාරයට පසු එය වළක්වා නොගැනීමේ වගකීම භාරගෙන පොලිස්පති ධූරයෙන් ඉවත් වුවහොත් ප්‍රහාරය පිළිබඳ සෙවීමට මුල්වරට පත්කෙරුණු මලල්ගොඩ කමිටුවේ වාර්තාවද වෙනස් කොට විදෙස් තානාපති ධූරයක් ලබා දෙන බවට එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දී තිබූ බවට පාස්කු ජනාධිපති කොමිසමේ දී ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කෙරුණි.

සාක්ෂි ලබාදුන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මෙම සිද්ධිය අනාවරණය කරමින් වැඩිදුරටත් සඳහන් කළේ, ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ විසින් ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයාව දැනුම්වත් කරන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ තෙවැනි දිනටත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ (18) සාක්ෂි ලබා දුන්නේය.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේ, රාජ්‍ය බුද්ධි සේවයෙන් ආරක්ෂක ලේකම් වෙත එවා තිබූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ බුද්ධි තොරතුරු ඇතුළත් වාර්තා නිසි ලෙස පරිශීලනය කළේ ද යන්නය.

ඊට පිළිතුරු දෙමින් හේමසිරි ප්‍රනාන්දු මහතා දිගින් දිගටම පැවසුවේ තමන්ට රාජ්‍ය බුද්ධි සේවය ලබාදුන් සෑම වාර්තාවක්ම කිසිදු විශ්ලේෂණයකට භාජනය නොකොට හුදු තොරතුරු පමණක් කොළයකට සීමා කර එවා තිබූ බවය.

එමඟින් ගත හැකි ක්‍රියාමාර්ගයක් නැතැයි පැවසූ හේමසිරි ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ එවැනි තොරතුරු අවශ්‍ය වන්නේ ක්‍රියාත්මක මට්ටමේ සිටින පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයට නිසා තමන්ට විශ්ලේෂණය කළ තොරතුරු ලබාදීම සිදුවිය යුතුව තිබූ බවය.

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු -
" ඔබ කියන විදියට හරියාකාරව විශ්ලේෂණය කළ තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය නොදුන්නා නම් ඇයි ඒ ගැන ජනාධිපතිවරයා දැනුම්වත් නොකළේ ? "

හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම් -
" මට දිගින් දිගටම ලැබුණේ විශ්ලේෂණය නොකරපු වාර්තා වුණාට මං ඒ ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කියන්න ගියේ නැහැ.මොකද ඒ ගැන තේරුම්ගන්න හෝ තවත් තේරුම්කරල දෙන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. "

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු -
" ඔබ... හිටපු ජනාධිපතිවරයාව අවතක්සේරු කරනවද ?"

හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම් -
" අවතක්සේරුවක් නෙමෙයි ස්වාමීනි. පැහැදිලි කරන්නම් මං. එක්තරා රැස්වීමකදි මං කරපු ආන්දෝලනයට තුඩු දුන් ප්‍රකාශයක් ගැන වටේ හිටපු අය ඇවිත් ජනාධිපතිට බොරු කියල තිබුණා. ඊට පස්සේ විශ්වාසයක් නැහැ කියල මා එක්ක සෘජු සබඳතාවක් නැහැ. පවුලේ අය කිව්වා ඉල්ලා අස්වෙන්න කියලා. ඒ නිසා මම ඉල්ලා අස්වෙන්න හිටියේ නමුත් ඊට කලින් පාස්කු ඉරිදා මේ අවාසනාවන්ත සිද්ධිය වුණා. ස්වාමීනි, රේඛීය ඇමති හා ලේකම් අතර සුහදතාව නැත්නම් වැඩකරන්න බැහැ.."

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු -
" ඔය දෙගිඩියාව එහෙමනම් පාස්කු ප්‍රහාරය එල්ලවන තුරුම පැවතුණාද ? ඒකද හේතුවුණේ මේ ආරක්ෂක කටයුතු මඟහැරෙන්න.. ?"

හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම් -
" අතිශයින් දැඩිව පැවතුනා. දවසින් දවස ඒක වැඩි වුණා මිස අඩු වුණේ නැහැ. නමුත් ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් කර ගත්තේ නැ මම. මම ලේකම් ලෙස ගොඩක් වැදගත් තීරණ රැසක් ගත්තා. ඒත් ඒ හැම වෙලාවෙම මට කෑගහල ජනපති ඒවා වෙනස් කළා. ලේකම්වරයකු ලෙස මට ඒ වගේ සිද්ධීන් 25කට 30කට වගේ මුහුණ දෙන්න වුණා.
එවිට කොමිසම හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසා සිටියේ මේ තනතුර ඔබ කැමැත්තෙන් නේද ඉල්ලා ගත්තේ.?

හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම්
මම දන්නේ නැහැ සමහර රෝගාබාධ මිනිස්සුන්ට එනවානේ එක වෙන්න ඇති දැඩි කැමැත්ත.
මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පූර්ව අනතුරු ඇඟවීම එවකට ජනාධිපතිවරයාට ලබා නොදුන්නේද යන්නයි.

හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම් -
" මට විශ්වාස කරන්න බෑ කොයිම අවස්ථාවකවත් නිලන්ත මේ ගැන ජනාධිපතිවරයා දැනුම්වත් කළේ නැ කියල. ඒතරම් සුහදතාවක් ජනාධිපති හා නිලන්ත අතර තිබුණා. මීට පෙර බොහෝ අවස්ථාවල මට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂගෙන් එන වාර්තා මටත් කලින් ජනාධිපතිට දීලා තිබුණා නිලන්ත විසින්ම. කොහොමත් මෛත්‍රීපාල සිරිසේන මහතාමනේ නිලන්ත ජයවර්ධනව ගෙනැල්ලා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට පත් කළේ. ඔවුන් සුහදව හිටියා ඒ නිසා. "
මෙහිදි හේමසිරි ප්‍රනාන්දු මහතා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළේය.

හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම් -
" පාස්කු ප්‍රහාරයට පසු අප්‍රේල් 24 වෙනිදා මම ගියා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවෙන්න. ඒ වෙනකොට ජනාධිපතිවරයා පූජිත් ජයසුන්දර මහතාට කියල තිබුණා, ' පූජිත්.. ඔයා මේකෙ වගකීම භාර අරන් ඉල්ලා අස්වෙන්න. මම මලල්ගොඩ කමිටුවේ වාර්තාවත් වෙනස් කරවල දෙන්නම්. ඔයා බය වෙන්න එපා. ඔයාට විශ්‍රාම වැටුප, වරප්‍රසාද දීලා සුදුසු රටක තානාපති කමක් දෙන්නම්' කියල. නමුත් පූජිත් ජයසුන්දර මහත්තයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ මේ යෝජනාවට එකඟවෙලා තිබුණේ නැ.
මං ගිහින් එදා කිව්වෙත් එය එසේ නොකළ යුතුයි කියල. මං ඒ ගැන වැඩිය කතාකළෙත් නැ. මං ඇහුවා එතුමාගෙන් ඔබතුමා කියන විදියට මේ ප්‍රහාරය ගැන දැනුම්දුන්නේ නෑ කියන එකට වගකියන්න ඕනේ මමද, නිලන්තද, පූජිත්ද කියල. මං ඊට පස්සෙ කිව්වා නිලන්තනේ ඔබතුමාට ඉතා සමීපව කටයුතු කළේ කියලා. එතකොට කිසිම සද්දයක් නැතුව ජනාධිපතිවරයා නිහඬව බිම බලාගත්තා. මං එතනදි ආයෙත් කිව්වා, ' ජනාධිපතිතුමා කවදාවත් ලේකම්වරයෙක්ට විනාඩි 10ක් වත් කතා කරන්න ඉඩ නොදී ඉන්න එපා. එහෙම වුනොත් මේ අමාත්‍යාංශය දුවන්න බැ. මං ඉල්ලා අස්වෙනවා. මගෙන් පස්සෙ එන කෙනෙකුටවත් දවසට පැය භාගයක් හමුවෙලා සාකච්ඡා කරන්න ඉඩ දෙන්න' කියල. ඔබ ජාතිය අමතා කළ ප්‍රකාශය නිසා මට ආත්ම ගරුත්වය තියාගෙන ඉන්න බැහැ. මම ඉල්ලා අස්වෙනවා. එහෙම කියල ආචාර කරල ඇවිත් මම ඉල්ලා අස්වීම දැනුම් දුන්නා. "

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු -
" ඔබට අප්‍රේල් 20 රෑ නිලන්ත ජයවර්ධන මහත්මයා දැනුම් දුන්නාද ප්‍රහාරය ගැන ? "

හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම් -
" ඔව්. මට නිලන්ත whatsapp කරල තිබුණා පණිවිඩයක්. ඒකේ තිබුණා ඉදිරි පැය 24 තුළ ප්‍රහාරයක් වෙන්න පුලුවන් කියල. ඒ වෙලාවෙ මං නිලන්තට කිව්වා පොලිස්පති සමඟ සාකච්ඡා කරන්න කියල. මාත් පොලිස්පතිට ඇමතුමක් ගත්තා උපදෙස් දෙන්න. ඒ වෙනකොටත් ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම්දෙන ගමන් ඉන්නෙ කියල මට කිව්වා. "

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු -
" ඔබ ඇයි එම තොරතුර ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන්ට නොකිව්වේ.. ?"

හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම් -
" අපිට ඒ දෙන්නා එක්ක කතාකරන්න තහනම් කරල තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඒ දෙන්න ඉන්න සාකච්ඡාවකටවත් යන්න එපා කියලයි තිබුණේ. "
ජනාධිපති කොමිසමේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු -
" හේමසිරි ප්‍රනාන්දු මහත්මයා, ඔබ ප්‍රහාරයෙන් පස්සේ මාධ්‍යට කියල තිබුණා.. 'ගහනව කියල දැනගෙන හිටියා ඒත් මෙච්චර ගහයි කියල හිතුවේ නැ ' කියල... ඒ ගැන පැහැදිලි කරන්න.. "

හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම් -
" මං ඒ වෙනකොට පැය 48 ක් විතර නිදිවරල බොහොම තෙහෙට්ටු වෙලා හිටියේ. මොනව කිව්වද කියල මට මතක නෑ ඒ වෙලාවේ ඒ විදෙස් මාධ්‍යවේදීන්ට.."
මෙහිදී අද දෙරණ ඔස්සේ විකාශය කළ හේමසිරි ප්‍රනාන්දු මහතා කොච්චිකඩේ දේවස්ථානය අසලදී විදෙස් මාධ්‍යකට ලබාදී තිබූ ප්‍රකාශය ජනාධිපති කොමිසම හමුවේ යළි පෙන්වීමට සැලැස්වුවා.
ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු -
" හේමසිරි මහත්තයා... ඔබ ඔය කියන පැය 48ක තෙහෙට්ටුවක් නම් අපිට පෙනුනේ නැ මෙතන. ඔබ හරි ජවයෙන් සහ fresh උත්තරනෙ දුන්නේ..?"

හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක ලේකම් -
" මට fresh එකක් ආවා අහපු ප්‍රශ්නවලට කේන්ති ගිය නිසා."

Rate this item
(0 votes)