April 26, 2024

මංගල ඇමතිකම දරද්දී විදෙස් ත්‍රස්තවාදීන්ගේ ප්‍රසාදය දිනා ගන්න වැඩ කරලා

September 17, 2020

යහපාලන රජය සමයේ හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු ත්‍රස්තවාදීන් අතට පත්කර තිබෙන බව දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (16) අනාවරණය විය.

ජාත්‍යන්තර වශයෙන් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල නිරත පුද්ගලයන් හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර සමග සම්බන්ධ වී ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු එලෙස ත්‍රස්තවාදීන් අතට පත්කර ඇතැයිද ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය විය.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ලෙස 2014 වර්ෂයේදී කටයුතු කරන සමයේදී ජාත්‍යන්තර වශයෙන් ත්‍රස්තවාදී කටයුතුවල නියැළෙන පුද්ගලයන් 424 දෙනකුගේ සහ ආයතන 16කගේ නම් අසාදු ලේඛනගත කර තිබූ බව හිටපු ආරක්ෂක ලේකම් යූ.ඩී. බස්නායක ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් (16) පැවැසීය.

නමුත් එය 2015 නොවැම්බර් 20 වන විට පුද්ගලයන් 155ක් සහ ආයතන 06 දක්වා අඩු වී තිබෙන බවත්, එය ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් වූ බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවැසීය.

හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීරගේ දැඩි බලපෑම සහ තර්ජන හේතුවෙන් අසාදු ලේඛනගත කර සිටි පුද්ගලයන් සහ ආයතන සංඛ්‍යාව අඩුකර තිබෙන බව දැනගන්නට ඇතැයි දන්වා සිටි හිටපු ආරක්ෂක ලේකම්වරයා, එලෙස තීන්දුවලට එළැඹී ඇත්තේ ආරක්ෂක ඇමැතිවරයාගේ හෝ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියකට හෝ නිර්දේශයකට යටත්ව නොවන බවද ප්‍රකාශ කළේය.

විදෙස් රටවල ත්‍රස්තවාදීන්ගේ ප්‍රසාදය දිනා ගැනීම සඳහා හිටපු ඇමැති මංගල සමරවීර මෙලෙස ක්‍රියා කර ඇතැයි පැවසූ ආරක්ෂක ලේකම්වරයා සුළු ජාතික පක්ෂවලින් ආණ්ඩු බලය ලබා ගැනීමටත්, ඔවුන් සතුටු කිරීමටත් යහපාලන රජය සමයේ විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබූ බවත් පෙනෙන්නට ඇතැයිද පැවැසීය.

ජාතික බුද්ධි අංශ ප්‍රධානී ලෙස වැඩ ආවරණය කළ කර්නල් ෂම්මි කුමාරරත්න විසින් ගොනු කර තිබූ පැමිණිල්ල ඊයේ (16) යළි විභාගයට ගත් අවස්ථාවේදී දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා එලෙස පැවැසීය.

Rate this item
(0 votes)