April 23, 2024

මට කළ චෝදනා වලට ජනතාවම පිළිතුරු දුන්නා

ඇතැම් අය මට එල්ල කරපු බොරු චෝදනා පුස්සක් බවට පත් කිරීමට ජනතාව කටයුතු කිරීම සතුටට කරුණක් යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගත් සනත් නිශාන්ත පෙරේරා මහතා පැවසීය.

මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා මෙසේද කීවේය.

“මැතිවරණය වෙලාවේ පක්ෂ වශයෙන් බෙදිලා වැඩ කටයුතු කළාට ඉදිරියේදී ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකට සිට ගෙන වැඩ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. පක්ෂ හෝ ජාති බේද පසෙක ලා ජනතාව වෙනුවෙන් වැඩ කරන්න කැපවෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයේ අතීත මැතිවරණ ක්‍රියාකාරීත්වය දෙස බැලූවිට තිබෙන්නේ කනගාටුදායක තත්ත්වයක්. මැතිවරණයක් අවසන් වූ විට ගෙවල් ගිනි තැබීම්, දත් කැඩීම්, පහර දීම් සිදුවී තිබෙනවා. නමුත් අපි ඒ යුගයට තිත තැබිය යුතුයි. නැවත එවැනි තත්ත්වයක් දිස්ත්‍රික්කය තුළ සිදු නොවන යුගයක් අපි ආරම්භ කළ යුතුයි. පසුගිය දිනවල අපිට අලුත් අත්දැකීමක් ලබන්න හැකියාව ලැබුණා.

මැතිවරණ නීති රීතිවලට මෙන්ම සෞඛ්‍ය අණ පනත්වලටත් යටත්ව තමයි මැතිවරණ ව්‍යාපාරය සිදු කරන්න වුණේ. නමුත් අපි ඒ සියල්ල කළා. ඇතැම් අය මට එරෙහිව විවිධ චෝදනා එල්ල කළා. නමුත් ජනතාව දැන් ඔප්පු කර තිබෙනවා ඒ සියල්ල බොරු කියලා. මම ඉන්නේ ජනතාවගේ පැත්තේ. ඒ නිසා මාව ජනතාව අමතක කරන්නේ නෑ . මම ජනතාව අමතක කරන්නෙත් නෑ කියලා කියන්න කැමතියි. කොහොම වුණත් ජනතාව මට ලබා දුන් මනාප ප්‍රතිඵලය බොරු චෝදනාවලට හොඳ පිළිතුරක් ලෙසයි මා සලකන්නේ.’’

Rate this item
(0 votes)