April 25, 2024

"ප්‍රේමදාසලා ළඟ බොරු පම්පෝරි නෑ - තාත්තට පුළුවන් නම් පුතාටත් පුළුවන්" - සජිත්

කවුරු කුමන විවේචන සිදුකළ ද, සෑම පවුලකටම රුපියල් 20,000ක දීමනාව ලබාදීම තම රජයක් යටතේ සිදුකරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ, පන්නල පැවති ජනහමුවක් අමතමිනි.

සුළු හා මධ්‍යම පාන්තිකයින්ගේ සිට දෛනික වැටුප් ලබන පුද්ගලයින් දක්වා සියලු දෙනාට එම දීමනාව ආර්ථිකය ගොඩනැඟෙන තෙක් ලබාදිය යුතු බව ද ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

නමුත් තමන්ගේ යෝජනාවට අද වනවිට අමුතුම සන්ධානයක් එකතු වී මඩ ප්‍රහාර එල්ල කරන බව ද පැවසු ඒ මහතා, මහජනතාවට යමක් ලබා දෙන බව පැවසු විට සියලු දෙනා ප්‍රශ්න කරන බව ද කියා සිටියේය.

තමන්ගේ පියා රට තුළ යුද්ධයක් පවතින කාලයක දී පවා නිල ඇඳුම්, දිවා ආහාර  ලබා දුන් බව පැවසු සජිත් ප්‍රේමදාස මහතා, “තාත්තාට පුළුවන් නම් පුතාටත් පුළුවන්“ යනුවෙන් පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

"අද රටේ ආර්ථිකය හොඳටම කඩා වැටිලා කිසිම ආර්ථික සැලැසුමක් මේ ආණ්ඩුවට නෑ. ආර්ථික විශේෂඥයෝ යැයි කියා ගන්නා අය මාධ්‍ය සංදර්ශන පෙන්වනවා. දවස ගානේ මාධ්‍ය සිරස්තලවල විතරක් ලොකුවට පෙනී ඉන්නවා විතරයි කරන්නේ. අපේ ආණ්ඩුවක් මගින් මේ ක්‍රමවේදය වෙනුවට සහන ක්‍රම 3ක් ලබා දෙනවා. සියලුම දුප්පත් පවුලක් සඳහාම මසකට රු. 20000ක් දෙනවා. 4%ට සහන පොලී පදනම මේ ආණ්ඩුව යටතේ දෙනවා කියන ණය මුදල් තවම කිසිවෙකුට දීලා නම් නෑ. අපේ රජයක් මගින් ඒ සියලු දෙනාට 4%ට පොලී සහිත ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනවා. බොරුවට මාධ්‍ය ඉස්සරාහට ඇවිල්ලා මේ සජිත් ප්‍රේමදාස පම්පෝරි ගහන්නේ නෑ. රණසිංහ ප්‍රේමදාසලා දෙනවා කිව්වොත් කරනවා කිව්වොත් කරලා පෙන්නන අය. ඒ නිසා මේ රටේ සියලු ජනතාව ජන සවියෙන්, ජන ශක්තියෙන්, ශ්‍රම ශක්තියෙන් නැගිටන යුගය වැඩි ඈතක නෙමෙයි. එළැඹෙන දවස් කීපයේ දී මේ රටේ රාජ්‍ය සේවකයාට දෙපාරක් නොහිතා දුරකතනය ඉදිරියේ ඡන්දය පාවිච්චි කරන්නට අවස්ථාව උදාවෙලා තියෙනවා."

"ඒ වෙන මොකවත් නෙමෙයි සියලු රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප අතිකාල දීමනා, අනෙකුත් අවශ්‍ය සියලු දේවල් අද මේ ආණ්ඩුව කපලා ඉවරයි. මූලික වැටුප එකතු කරපු රුපියල් 10000 එහෙම පිටින්ම කපලා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලිය සියයට අටේ සිට පහ දක්වා අඩු කරලා. මෙහෙමයි මේ ආණ්ඩුව අද රාජ්‍ය සේවකයා දිහා හිතලා වැඩ කරලා තියෙන්නේ. ඒ නිසා අපි කියන්න කැමතියි මේ රටේ ජනතාව වෙනුවෙන් සේවය කරන ඒ සියලු දෙනා හට අපේ රජයක් යටතේ සියලු වරප්‍රසාද වරදාන ලබා දෙනවා කියලා. පසුගිය ජනාධිපතිවරණයේ දී රට විරුවන්ගේ රණ විරුවන්ගේ කර මතින් ඡන්දේ කරපු මේ උදවිය ඒ සියල්ල අද අමතක කරලා. අපේ රජයක් මගින් මේ කොබෙයිගනේ, කොටවෙහෙර, රස්නායකපුර හා නිකවැරටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අසරණ ජනතාව සඳහා පිරිසුදු නිරවුල් ඔප්පු, සින්නක්කර ඔප්පු, කෘෂි කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය ජලය සහ අනෙකුත් පහසුකම් ලබා දෙනවා."

Rate this item
(0 votes)
Last modified on Friday, 10 July 2020 17:04