April 19, 2024

ඉන්දියාව කොරෝනා වාර්තාවකට සූදානම් වෙයි

කොවිඩ් -19 වයිරසය විසින් ඉන්දියාව සෙමින් ග්‍රහණයට ගත් නමුත් පළමු ආසාදිතයා හමු වී මාස හයකට පසු එරටින් ලොව තුන්වන විශාලතම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී ඇත.

ලොව දෙවන විශාලතම ජනගහනය ජීවත්වන ඉන්දියාවෙන් වාර්තා වන දත්තයන්ද සැකසහිත බවට මේ වන විට මත පළවෙමින් තිබේ. විද්‍යාඥයන් පවසන්නේ ඉන්දියාවේ ප්‍රමාණවත් නොවන කොවිඩ් -19 පරීක්ෂා කිරීම් සහ අසාමාන්‍ය අඩු මරණ අනුපාතය නිකුත් කර ඇති වර්තාවල සත්‍යතාව ප්‍රශ්න සහගත බවයි.

මෙම තත්ත්වය මත බීබීසී පුවත් සේවය විසින් ඉන්දියාවේ කොවිඩ් -19 වසංගත ව්‍යාප්තිය පිළිබඳ ප්‍රධාන කරුණු 05 ක් මතුකර ඇත. ඒ අතුරින් පළමුවැන්න වන්නේ ඉන්දියාවේ ආසාදිතයන් සංඛ්‍යාව අධිවේගයෙන් ඉහළ යෑමයි. ඒ අනුව මෑතකදී ඉන්දියාවේ ආසාදිත පොකුරු මාලාවක් දැකගත හැකි වූ අතර ඒවා මගින් දිනපතා දසදහස් ගණනින් නව ආසාදිතයන් බිහිකර ඇත. එම පොකුරුවලින් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජුනි මාසයේදීය. ජූලි 08 වැනිදා වන විට ඉන්දියාවෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 742,417 කි. ඉන්දීය රජය විසින් පසුගිය මැයි මාසයේදී අහඹු නියැදි උපයෝගී කර ගනිමින් සිදු කළ සමීක්ෂණයකදී තක්සේරු කර ඇත්තේ ජනගහනයෙන් 0.73% කට වයිරසය ආසාදනය වී ඇති බවයි. මෙම නියැදි මත පදනම්ව ඉන්දීය විද්‍යාඥයන් පවසන්නේ සෑම දින 20 කට වරක්ම ඉන්දියාවේ රෝගීන් සංඛ්‍යාව දෙගුණ වන බවත්, මේ වන විට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 30 ත්, 40 ත් අතර විය යුතු බවත්ය.

දෙවැනි කරුණ වන්නේ ප්‍රමාණවත් පරීක්ෂා කිරීම් සිදු නොකිරීමයි. සමස්ත ලෝකයේ පරීක්ෂා කිරීම් අනුපාතය ඉන්දියාවේ පරීක්ෂා කිරීම්වලට වඩා තුන් ගුණයක් ඉහළ බව විද්‍යාඥයෝ පවසන බව බීබීසීය පෙන්වා දෙයි. තෙවැන්න වන්නේ අසාමාන්‍ය ලෙස සුව වීමේ අනුපාතය ඉහළ යෑමය. ඊටද හේතු වී ඇත්තේ පරීක්ෂා කිරීම් අවම අගයක පැවතීමයි. එම නිසා ආසාදිතයන් අඩුවෙන් වාර්තාවන අතර එම වාර්තාවන්ට සාපේක්ෂව සුව වූවෝ සංඛ්‍යාව ඉහළ යමින් පවතී.

සිව්වැනි කරුණ අවම මරණ අනුපාතයයි. කෙසේ වෙතත් ජනගහනය සතු ඉහළ ප්‍රතිශක්තිය මෙලෙස මරණ අනුපාතය අඩුවීමට හේතු වී ඇතැයිද හෙළි වී තිබේ. පස්වැනි සහ අවසන් කරුණ ලෙස බීබීසීය පෙන්වා දී ඇත්තේ ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත විවිධ තොරතුරු වාර්තා කිරීමයි. දිල්ලි, මහාරාෂ්ට්‍ර සහ තමිල්නාඩු ප්‍රාන්තවලින් සමස්ත ආසාදිතයන්ගෙන් 60% ක්ම වාර්තා වී ඇත. එහෙත් ඇතැම් ප්‍රාන්තවල ආසාදිතයන් සැලකිය යුතු ලෙස පහත බැස ඇති බවද පර්‌යේෂකයන් උපුටා දක්වමින් බීබීසීය වැඩිදුරටත් වාර්තා කරයි. මේ කරුණු මත බීබීසීය ප්‍රශ්න කරන්නේ කොරෝනා වසංගතයේ ඊළඟ කේන්ද්‍රස්ථානය ඉන්දියාවද කියාය.

Rate this item
(0 votes)