April 25, 2024

පුද්ගල දුරස්ථභාවය කඩකරන්නන් අද සිට අත්අඩංගුවට

නිරෝධායන නීති කඩකරන පුද්ගලයින් සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව අද (26) සිට නීති දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියි.

මහජනතාව පුද්ගල දුරස්ථභාවය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින්, බුද්ධි අංශ නිලධාරින් යොදවා පරික්ෂා කරන බව මෙහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියහ.

ඒ සඳහා වීඩියෝ සාක්ෂි ලබා ගැනීමේ ක්‍රමවේදයක් ද ආරම්භ කොට ඇති බව පැවසූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණමහතා වැඩිදුරටත් කියා සිටියේ පොදු ස්ථානවලදී මෙන්ම රටබීම හල් ආශ්‍රිතව මෙම මෙහෙයුම් වැඩි කරන බවය.

මේ දක්වා අත්අඩංගුවට ගත්තේ ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින් පමණක් බවත් අද සිට පුද්ගල දුරස්ථභාවය රඳවා නොගන්නා පුද්ගලයින් ද අත්අඩංගුවට ගන්නා බව කියා සිටියහ.

මෙම තත්ත්වය යම් කිසි සේවා සපයන ආයතනයක්, වෙලදසැලක සිදු වුවහොත් අදාළ කළමණාකාරිත්වයටද ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

නිරෝධායන නිතිය මෙන්ම අපරාධ නිතිය අනුව මෙම චෝදනාවට වරදකරුවෙක් වන පුද්ගලයෙක්ට මාස 06ක සිර දඬුවමක් නියම කිරීමට අධිකරණයට හැකි බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියහ.

Rate this item
(0 votes)