April 24, 2024

"රත්නජීවන් හූල් මහ ඡන්දය කල් දැමීමේ කොන්ත්‍රාත්තුව ඉටු කරමින්" - ජයන්ත සමරවීර

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනා අතුරින් එක් අයකු වන රත්නජීවන් හූල් මහ ඡන්දය කල් දැමීමේ කොන්ත්‍රාත්තුව ඉටු කරමින් සිටින බවට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා චෝදනා කරයි.

කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ චෝදනා කර සිටියේය.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ස්ථාපිත කරන ලද ස්වාධීන කොමිෂන් සභාවක් වූ මැතිවරණ කොමිෂන් සභාවේ මූලික කර්තව්‍යය කලට වේලාවට ස්වාධීනව මැතිවරණ පවත්වා ජනතා පරමාධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වුවත් වත්මන් මැතිවරණ කොමිසම පළාත් පාලන මැතිවරණය වසර එකහමාරක් ද පළාත් සභා මැතිවරණය අනන්තය තෙක් ද කල්දැමූ බව පෙන්වා දුන් සමරවීර මහතා, දැන් ඉහත කොමිසම මහා මැතිවරණයක් කැඳවා තිබියදී එය කල් දැමීමට චේතනාන්විතව කටයුතු කරන බව ද සඳහන් කළේය.

පොදුවේ ගත්කල වත්මන් මැතිවරණ කොමිසමේ තත්වය එවැන්නක් බව රටම දන්නා කරුණක් වුවත් එම තත්වය තවදුරටත් තීව්‍ර කීරීමට, ‘එහි සාමාජිකයකු වන රත්නජීවන් හූල් ඉතාමත් නිර්ලැජ්ජිත සහ කුමන්ත්‍රණකාරී ලෙස හැසිරෙමින් තමන් නියෝජනය කරන රටට හතුරු, බෙදුම්වාදී එන්.ජී. ඕ. කදවුරෙහි සහ මැතිවරණවලට බිය විපක්ෂයෙහි සිතැඟි පරිදි මහ මැතිවරණය කල් දැමීමට කටයුතු කිරීම’ කොමිසමේ සභාපතිවරයාගේ සහ අනෙක් සාමාජිකයාගේ පවා දැඩි අවධානයට ලක්විය යුතුව ඇති බවත් ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

ස්වාධීනව නිසි කලට වේලාවට මැතිවරණ පැවැත්වීම අරමුණු කොටගෙන පිහිටුවන ලද මැතිවරණ කොමිසමක සාමාජිකයකු මැතිවරණයක් පැවැත්වීමට එරෙහිව අධිකරණයට යාම සහ නිරෝධායන ආඥා පනත උල්ලංඝණය කරමින් මැතිවරණ කොමිසමේ නිලධාරීන් දැඩි අපහසුතාවයට පත්වන අන්දමට නිරෝධායනයට ලක්ව සිටින තම දියණිය තම සේවා ස්ථානයට රැගෙන ඒම යන කරුණු දෙක සැලකුව ද මහ ඡන්දය කල් දැමීමට හූල් කොන්ත්‍රාත්තුවක් ලබාගෙන ඇති බව වටහාගත හැකි බව ද ඒ මහතා පෙන්වා දෙයි.

එහෙයින් ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ලෙස කටයුතු කරන කරු ජයසූරිය මහතා වහාම ව්‍යවස්ථාදායක සභාව කැඳවා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ මූලික පරමාර්ථයන්ට පටහැනිව චේතනාන්විතව කටයුතු කරන රත්නජීවන් හූල්ට එරෙහිව එම සභාවේ බලතල ප්‍රකාරව කටයුතු කළ යුතුව ඇති බව ද ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Rate this item
(2 votes)
Last modified on Monday, 25 May 2020 11:23