April 25, 2024

"ලොකුම පෝලිම් තිබුණේ බාර් ළඟ නෙවෙයි උකස් බඩු කඩ ළඟ - මාධ්‍ය ඒවා පෙන්නුවේ නෑ" - රනිල්

රටේ වත්මන් ආර්ථික තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. 

"කොරෝනා වසංගතය මුළු මහත් ලෝකයේම ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් කර තිබෙනවා. දැනට කර ඇති පුරෝකථන අනුව ඉදිරියේදී ලෝක ආර්ථික වර්ධනය 3%ක සෘණ අගයක් ගන්නවා. ලංකාවේ තත්වයත් එසේමයි. අපේ ඇඟළුම් කර්මාන්තයෙන් ලැබෙන ආදායම 60%කින් පහත වැටෙනවා. සංචාරක කර්මාන්තයෙන් ආදායම් ලැබෙන්නෙ නෑ. විදේශ රැකියා ආදායම් 20%කින් අඩුවෙනවා. විදේශ විනිමය ආදායම හොඳටම පහත වැටෙනවා.  අනෙක් අතින් රජයේ ආදායම් අඩුවෙලා. ඒ අතර ආණ්ඩුව විසින් ගත් යම් යම් ප්‍රතිපත්ති තීරණ නිසා රජයේ ආදායම් තවත් පහළ වැටෙමින් යනවා. මේ නිසා අපේ ආර්ථික වර්ධනය සෘණ 3.50ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරනවා.  ඒ අතරතුර ආනයන තහංචි පැනවීම රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපා තිබෙනවා. අපේ සිල්ලර වෙළඳාමෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් රඳා පවතින්නේ ආනයනික භාණ්ඩ මතයි. ඒවගේම ස්වදේශීය කර්මාන්ත ගණනාවක් තමන්ගේ නිෂ්පාදන අමුද්‍රව්‍ය ලෙස ආනයනික අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා.  ඒ සියල්ල මැද රුපියල් බිලියන 200ක මුදල් අච්චු ගසා වෙළඳපොලට නිකුත් කර තිබෙනවා. ආර්ථික වර්ධනය සෘණ අගයක් තියෙද්දී මුදල් අච්චු ගැසීමෙන් ඇතිවෙන්නේ ඉතා අහිතකර ප්‍රතිඵලයක්. "

"පසුගිය දිනවල රටබීම හල් ඉදිරිපිට තිබුණු පෝලිම් ගැන මාධ්‍ය ප්‍රවෘත්ති මැව්වාට දිගම පෝලිම තිබුණේ එතන නොවෙයි, උකස් බඩු කඩේ ඉදිරිපිටයි. ලොතරැයිපත් අලෙවි කරන්නාගේ සිට ත්‍රිරොද රථ රියදුරා දක්වාත් කම්කරුවාගේ සිට කලාකරුවාත් දෛනික ආදායමෙන් යැපෙන අය, ස්වයං රැකියා කරන අය අද අසරණ තත්වයකට පත්වෙලා. පුද්ගලික අංශයේ රැකියා ගණනාවක් අස්ථාවර වෙලා. අඩු තරමින් රැකියා ලක්ෂ 5ක් පමණ අහිමි වන බව පෙනෙනවා. දැනට ක්‍රියාත්මක කරන මේ පැලැස්තර විසඳුම් මඟින් අර්බුදය තවතවත් මෝරනවා මිස ලිහිල් වෙන්නේ නෑ. ආර්ථිකය ශක්තිමත් කිරීමේ හැකියාවක් ඇති දේශීය ක්ෂේත්‍ර ගණනාවක් කඩාවැටෙමින් පවතිනවා. මේ ක්ෂේත්‍රයන් ආරක්ෂා කරගැනීම සඳහා පිළිවෙතක් සැකසිය යුතුයි. ලෝකයේ බොහෝ රටවල් මේ ක්ෂේත්‍ර ආරක්ෂා කරගැනීම සඳහා විශාල වශයෙන් මුදල් වෙන්කර තිබෙනවා. බොහෝ රටවල් දළ දේශීය නිෂ්පාදනයෙන් 10%ක් පමණ මේ සඳහා යෙදවීමට ක්‍රියා කරගෙන යනවා. නමුත් කණගාටුවට අපේ රටේ වෙන්කර ඇත්තේ 2%ක පමණ ඉතා සුළු මුදලක්. එමඟින් ප්‍රතිඵලයක් අත්වන්නේ නෑ. මේ ක්ෂේත්‍ර කඩා නොවැටී පැවතීමට පියවර ගන්නේ නැතිනම් තවත් අවුරුදු ගණනාවකට අපේ රටට හිස් ඔසවන්නට ලැබෙන්නේ නෑ" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

Rate this item
(0 votes)