March 29, 2024

ATM යන්ත්‍ර වලින් මුදල් ගන්න කලින් මේ ගැන හිතන්න- හෙට බැංකු විවෘත කරන්නේ මෙහෙමයි

මහජනතාවට අත්‍යවශ්‍ය බැංකු සේවා සැපයීම සඳහා හෙට (23) දින පොලිස් ඇඳිරිනීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ශාඛා අවම වශයෙන් පැය දෙකක් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ බැංකුවලින් ඉල්ලා සිටී.

කෙසේ වෙතත් හැකි සෑම විට ම ගෙවීම් ඇතුළු බැංකු කටයුතු සඳහා මංගත උපකරණ (on-line instruments) භාවිත කරන ලෙසත් මුදල් ගැනීම සඳහා තදබදය අඩු ස්ථානවල පිහිටි ATM යන්ත්‍ර භාවිත කරන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දන්වා සිටී.

එවැනි සේවා ලබා දීමේදීත්, සේවා ලබා ගැනීමේදීත් අත්‍යවශ්‍ය සෞඛාරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙස බැංකු ආයතනවලට මෙන් ම මහජනතාවට ද ශ්‍රී ලංකා මහ බැංකුව මෙයින් උපදෙස් දෙනු ලැබේ.

මේ අතර සියලුම රජයේ සේවකයින් සඳහා (සංස්ථා,මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළුව) එළැඹෙන හෙට (23) දින වැටුප් ගෙවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාට උපදෙස් ලබා දී තිබිණි.

ඒ අනුව හෙට දින රජයේ සේවකයින්ට වැටුප් ගෙවීමට අදාල කටයුතු මුදල් අමාත්‍යංශය මඟින් සිදුකරනු ලැබේ.

කොවිඞ් 19 වෛරසය රට තුළ පැතිර යාම වැළැක්වීමට රට වෙනුවෙන් තමන් අතින් සිදුවිය යුතු කාර්ය භාරය මැනවින් ඉටු කිරීම සඳහා මේ වන විටත් රජයේ සේවකයින් කැපවී සිටින බව තමන් හොදින්ම දන්නා බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

තම සෞඛ්‍ය සම්බන්ධයෙන් හෝ නොසිතා රටත්, ජාතියත් වෙනුවෙන් කැපවී සිටින සෞඛ්‍ය අංශය ඇතුළු රජයේ සේවකයින් අගය කරන අතර ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ස්තූතිය පළ කරන බවද සඳහන් කරමින් සියලුම රජයේ සේවකයින්ට එළැඹෙන 23 වැනිදා වැටුප් ගෙවීමට අදාල පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.

Rate this item
(0 votes)
Last modified on Sunday, 22 March 2020 22:57