April 25, 2024

හදවතින් ඡන්දෙට එන්න ගිය සජිත්ට “හංසයා“ ලකුණත් අහිමි වෙයි

February 19, 2020

එළැඹෙන මහ මැතිවරණයේ දී ජාතික සමගි බලවේගයට හංසයා ලකුණින් තරග කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් අද දැනුම් දුන් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්  අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

සන්ධාන සලකුණ සම්බන්ධයෙන් නීති කෘත්‍යයක් පැන නැගීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ ජාතික සමගි බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් අද (19) රාජගිරියේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේ දී පැවැත්වූ සාකච්ඡාව අසාර්ථක වූ බව ද අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

එම සාකච්ඡාව පවත්වා මැතිවරණ කොමිසමෙන් පිටතට පැමිණෙන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ  ප්‍රශ්නයකට  පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එමෙන්ම ජාතික සමගි බලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාද පැවසුවේ හංසයා ලකුණ මහමැතිවරණය සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් නීතිමය බාධාවක් පවතින බවයි.

තවදුරටත් ජාතික සමගි බලවේගයට අයත් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර සන්ධානය සඳහා යොදාගන්නා ලකුණ සම්බන්ධයෙන් තීරණයක් ගෙන මැතිවරණ කොමිසම දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බවද මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

එහි දී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට සන්ධානයේ බහුතරය කැමති බව කීය.

මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවැති සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සමගි බලවේගය ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රවී කරුණානායක යන මහත්වරු සහභාගී වී සිටියහ.

Rate this item
(1 Vote)