November 22, 2019

ඇල්පිටියේ ජනතාව දුන්න සියලු දේ අරගෙන ඡන්දේ දුන්නේ නෑ - ලක්ෂ්මන් යාපා

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය දැවැන්ත පරාජයක් ලැබූ ලෙසින්ම ඉදිරි ජනාධිපතිවරණයද එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

දික්වැල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඇල්පිටියේ ඡන්දය පසුගිය දා පැවති බවත් පැවසු මන්ත්‍රීවරයා, පසුගිය 2010 දී යුද්ධය අවසන් කර තිබිය දී ලක්ෂ 18 ගෙන මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වු බවත් පැවසීය.

2011 දී ආණ්ඩුව පවතින වෙලාවේ පළාත් පාලන මැතිවරණය පැවැත් වු බවත් පැවසු මන්ත්‍රීවරයා, ඒ මොහොතේ එජාපයේ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සිටි බවත් ඇල්පිටියේ ජනතාව ඒ මොහොතේ එක්සත් ජාතික පක්ෂයට සියයට 35 ක් ඡන්දය ලබා දුන් බවත් පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ රටම ඉල්ලන අපේක්ෂකයාගේ නායකත්වයෙන් මෙවර ඇල්පිටිය මැතිවරණයෙන් 24 ක් ලබා ගත් බවත්, කියා සිටි මන්ත්‍රීවරයා, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයත් මෙය බවද සඳහන් කළේය.

දකුණ හා අනෙකුත් ප්‍රදේශවලින් නිසැකයෙන්ම සියයට 70 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බවත් පැවසු ලක්ෂ්මන් යාපා මන්ත්‍රීවරයා, ලංකා ඉතිහාසයේ වැඩිම පරතරයක් තබන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් පැවසීය.

ඇල්පිටියේ ජනතාවට නොයෙක් දේ දුන් බවත් ජනතාව සියලු දේ අරගෙන ඡන්දේ දුන්නේ නැතැයි පැවසු මන්ත්‍රීවරයා එම ජනතාව මෝඩ නොමැති බවද කියා සිටියේය.

“ඇල්පිටියෙන් යුඇන්පී යත් නැති වෙනවා සජිතුත් නැතිවෙනවා“ යනුවෙන් පැවසු මන්ත්‍රීවරයා, රනිල් නැවත විපක්ෂ නායක වෙන බවත්, මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වෙන බවත් අපේ ජනාධිපතිවරයෙක් පත්වෙන බවත් පැවසීය.

Rate this item
(0 votes)