November 22, 2019

"නොනිදන ජනාධිපති ලේකම් කාර්යාලයක් නිර්මාණ කරනවා" - සජිත්

එජාපෙ ආණ්ඩුවක් තුළ ඥාති සංග්‍රහයන් සහ පවුල් දේශපාලනය නොමැති බවත්, තම අරමුණ දක්ෂ හපන්කම් තිබෙන යෞවන පරපුරට ඒ තැන සහ ශක්තිය ලබාදීම බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වැල්ලවාය බස් නැවතුම් පොළ ඉදිරිපිට ඊයෙ (13) පැවැති ජන හමුවකට එක්වෙමින් මේ අදහස් දැක්වූ ප්‍රේමදාස මහතා,

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ජයග්‍රහණයෙන් පස්සේ අපි අලුත් ගමනක් යන්නේ. පරණ තාලේ ඉබිගමන් ගමන් නෙවෙයි. හැමෝම ලෑස්ති වෙන්න ඕන මගේ වේගෙට වැඩ කරන්න. හැමෝම ලෑස්ති වෙන්න ඕන කැප කරන්න. ඒ නිසා අපි අලුත් කණ්ඩායමක් නිර්මාණය කරනවා, දක්ෂයන්ට තැන දෙනවා. දූෂිත නොවන දේශපාලඥයන් ඉදිරියට ගෙන එනවා. දූෂිතයන්ට තැනක් නෑ, දූෂිතයන් ගාවගන්නෙත් නෑ. දක්ෂ තරුණ පෙළක් ඉන්නවා. අත්වල ලේ ජරාව නොගෑවුණු තුන්වැනි පෙළක් ඉන්නවා. ඒ නිසා අපි නිර්මාණය කරන අලුත් ශ්‍රී ලංකාව තුළ මේ රටේ ඉතිහාසයේ ඓතිහාසිකම ජනතා සංවර්ධන යුගය ඇති කරනවා. ජනසවිය වැඩසටහන ආරම්භ කළේ මගේ පියා. නමුත් ජනසවිය වැඩසටහන කරන්න අවස්ථාව ලැබුණෙ නෑ 93 මැයි පළමුවෙනිදා ජීවිතක්ෂයට පත්වුණා. සියලු දෙනාට කියන්න කැමතියි අද දවසේ ක්‍රියාත්මක වෙන සමෘද්ධි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යමින් එම වැඩපිළිවෙළ ශක්තිමත් කරනවා. තවත් අලුත් වැඩපිළිවෙළක් එකතු කරනවා. සමෘද්ධි සහනාධාරය දෙන ගමන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ආරම්භ කරපු ජනසවි වැඩසටහනත් රට පුරා ආරම්භ කරනවා. පසුගිය කාලයේ විවිධ බොරු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරලා වැරදි චිත්‍රයක් රටට පෙන්නුවා. ජන සංඛ්‍යාලේඛන දෙපාර්මේන්තුව කියනවා දල වශයෙන් හතරදෙනෙක් ඉන්න පවුලකට ආහාර හා ආහාර නොවන වියදම් සඳහා රුපියල් 50,000ක් අවශ්‍යයි කියලා. පවුල් කීයක් ඉන්නවාද මේ ආදායම නැති. ඒ අය දිහා කවුරුවත් බලන්නේ නෑ. මම සූදානම් ඒ අසරණ, හඬක් නොමැති අයගේ හඬ බවට පත්වෙලා නිහඬ බහුතරයේ වීරයා බවට පත්වෙන්න කැපකිරීම් කරන්න."

"ජාති, ආගම් කුලමල භේද ගන්න එපා, පක්ෂ භේද ගන්න එපා. ඒ ඔක්කොම ඉවත් කරන්න. හැමදෙනාගෙම කකුල් දෙක ළඟට යන්න. ඔබතුමාලා දන්නවා කතරගම බුත්තල ගම්උදාවලින් මේ මොනරාගල දිස්ත්‍රික්කයට ලැබුණු සෙත. මේ මහා සංවර්ධන ක්‍රියාදාමයේ ඒ ප්‍රතිපත්ති, උසස් ප්‍රතිපත්ති, ඒ සාධනීය ප්‍රතිපත්ති ජනතාවට අගයක් එකතු කරපු ප්‍රතිපත්ති අරගෙනයි අපි අපේ ඉදිරි ගමන යන්නේ. මිනිසා ජීවත් කරවීම ප්‍රධානම ප්‍රතිපත්තියයි. අපේ රජයක් තුළ ඥාති සංග්‍රහයන් පැත්ත පළාතක ගේන්නේ නෑ. පවුල් දේශපාලනය පැත්ත පළාතක ගේන්නේ නෑ. අපේ අරමුණ දක්ෂ හපන්කම් තිබෙන යෞවන පරපුරට ඒ තැන, ශක්තිය ලබාදීමයි. ජන සමාජයේ කාන්තාවන්ට සුරකෂිතභාවය, ආරක්ෂිතභාවය ලබාදීලා අභිමානවත් සද්ධන්ත ශ්‍රී ලංකාව ආඩම්බර ශ්‍රී ලංකාවක්, ජවසම්පන්න මුළු ලෝකයම ජයග්‍රහණය කරන ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමයි. එළඹෙන මැතිවරණයේදී ඓතිහාසික ජනවරම ලබාදෙනකොට රටේ ජනාධිපතිවරයා හැටියට මුළු රටටම වගකියන, රටම ආවරණය කරන ජනාධිප ති විශේෂ කාර්ය සාධන බළකායක් පිහිටුවලා හැම උපදිසාපති කාර්යාලයකම ජනාධිපති සංවර්ධන ඒකකය අපි ස්ථාපනය කරනවා. ජාතික සංවර්ධන විශේෂ කාර්ය සාධන බළකාය ස්ථාපනය කරලා නවීන තාක්ෂණය තුළින් රටක් පාලනය කරනකොට ඊ රාජ්‍ය පාලනය තුළින් දිනපතාම හැම දිසාපති කොට්ඨාසයකම, ගමකම, වසමකම ආරම්භ කරන ව්‍යපෘති ජනතාවගේ ඉල්ලීම් බලාපොරොත්තු අධිකෂණය කරනවා. ගැටලු ප්‍රශ්න තියෙන හැම පුරවැසියෙක්ම සාමාජිකයෙක් කරගන්නවා. ඒකට පක්ෂ, පාට, කුල ආගම් භේදයක් නෑ. නිවාස රැකියා ප්‍රශ්නද, මාර්ග, පාසල් ප්‍රශ්නද, රෝහලේ ප්‍රශ්නද, පෙරපාසලේ ප්‍රශ්නද, රටේ ජනාධිපතිවරයා දැනුවත් වෙලා, විසිහතර පැයේම, තුන්සිය හැටපස් දවසෙම නොනිදන ජනාධිපති ලේකම් කාර්යාලයක් නිර්මාණය කරලා, මුර ක්‍රමයට දිවා කාලයෙත්, රාත්‍රී කාලයේත්  වැඩ කරන්නටත් වැඩපිළිවෙළක් සකස් කරලා, නොනිදන ජනතා සේවාව ඉදිරියට කරගෙන යනවා" යනුවෙන් කියා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Monday, 14 October 2019 10:46