October 15, 2019

ප්‍රජාතන්ත්‍රවාදයට සැබෑ යුක්තිය තිබිය යුතුයි - රාඝවන්

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීමට නම් සැබෑ යුක්තිය සහ සාධාරණත්වය තිබිය යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

යුක්තිය හෝ සාධාරණත්වය නොමැති සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටීම හරියට මුල් නොමැති ගසක පලතුරු සෙවීම හා සමාන බවද ඒ මහතා පෙන්වා දෙයි.

“උතුරු පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් අප ද වගකිව යුතුය” යන තේමාව යටතේ ආණ්ඩුකාර මහලේකම් කාර්යාලයේ පැවති මාර්ග ආරක්ෂණ සතියේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේය.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ මඟ පෙන්වීම අනුව උතුරු පළාතේ මාර්ග අනතුරු පාලනය කිරීමේ අරමුණින් පළාතේ දිස්ත්‍රික්ක පහේ මාර්ග ආරක්ෂණ සතිය ක්‍රියාත්මක කරනු ලැබේ.

ආණ්ඩුකාර ලේකම්, රජයේ නිලධාරීන්, උතුරු පළාත් මාර්ග මගී සහ ප්‍රවාහන අධිකාරියේ සභාපති, මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්, උතුරු පළාත් මාර්ග ආරක්ෂණ කවුන්සිලයේ ප්‍රධානී, පාසල් ළමුන් සහ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 “මාර්ගයේ ගමන් කරන විට රථවාහන නීති රීති අනුගමනය කරන බවට දිවුරුම් දෙමි. එමඟින් සිදුවන අනතුරු අවම කිරීම, අත් පා අහිමි වීම සහ තුවාල හේතුවෙන් ඇති වන දුක්ගැනවිලි අවම කිරීමට මම දායක වෙමි. මම අයුක්තියට එරෙහිව සටන් කරන්නෙමි. ” යනා දී වශයෙන් ඔවුන් ප්‍රතිඥාවක් ලබා දුන්හ.

Rate this item
(0 votes)