March 29, 2024

NGO කාක්කන්ට එරෙහිව දෘෂ්‍ය කලා ශිල්පී සුදත් අබේසේකරගෙන් ජංගම ප්‍ර‍දර්ශන මාලාවක්

November 04, 2019

රාජ්‍ය සම්මාන දිනූ දෘෂ්‍ය කලා ශිල්පීයෙකු වන සුදත් අබේසේකර ස්ථාපන කලා ප්‍ර‍දර්ශන පැවැත්වීමේ දැවැන්තයෙකු ලෙස ශ්‍රී ලංකාවේ ප්‍ර‍චලිතය. ඔහු විසින් මේවන විට ස්ථාපන කලා ප්‍ර‍දර්ශන 15කට අධික ප්‍ර‍මාණයක් පවත්වා ඇත. එපමණක් නොව ඒක පුද්ගල සහ සමූහ ප්‍ර‍දර්ශන 60කට ආසන්න ප්‍ර‍මාණයක් පවත්වා දෘශ්‍ය කලාශිල්පියෙකු ලෙස ඔහු ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස නමක් දිනාගෙන ඇත. ඔහුගේ ප්‍ර‍දර්ශන ශ්‍රී ලංකාවේ පමණක් නොව චීනය, බංග්ලාදේශය, කොරියාව, එංගලන්තය ආදී රටවල් ගණනාවකද පවත්වා ඇත.

ස්ථාපන කලාව පිළිබද වැඩි ඇල්මක් දක්වන සුදත් අබේසේකර එමගින් සමාජ ප්‍ර‍ශ්න ඉතා සියුම්ව ආමන්ත්‍ර‍ණය කිරීමට උත්සාහ ගනු ලබන නිර්මාණකරුවෙකි. සාමාන්‍යයෙන් කිසිවෙකු නොසිතන ක්ෂේත්‍ර‍ ඔහුගේ නිර්මාණ ඇසට භාජනය වන අතර වචන සිය දහස් ගණනකින් කීමට නොහැකි කතාවක් ඔහු එක් නිර්මාණයකින් සියුම්ව ඉදිරිපත් කිරීමට හැකියාව ඇති දක්ෂ කලාකරුවෙකි. ඔහු විසින් සිදුකල නිර්මාණ ගණනාවක් ශ්‍රී ලාංකික සමාජයේ රසික සිත් ඇදබැදගත් නිර්මාණ බවට පත්ව ඇත.

බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ සුප්‍ර‍සිද්ධ ත්‍රිමාණ (3D) නිර්මාණය ඔහුගේ අනගි නිර්මාණයකි. එය ඔහු විසින් නොමිළේ නිර්මාණ කටයුතු කරදුන් අගය කල යුතු නිර්මාණයකි. එපමණක් නොව බෙල්ලන්විල ඇවිදින මංතීරුව අසල නිර්මාණයන්ද සුදත් විසින් සිදුකල නිර්මාණවේ. එපමණක් නොව ඇඩවටයිසිං කලාවට අලුත් ආරක් එක්කල සුදත් අබේසේකර සාම්ප්‍ර‍දායික ප්‍ර‍චාරණ උපක්‍ර‍ම අතික්‍ර‍මණය කරමින් මූර්ති කලාව හරහා සිය ප්‍ර‍චාරණ කටයුතු සිදුකිරීමට සිය සේවාදායකයින්ට ලබාදුන් අනගි නිර්මාණ දායකත්වය සාර්ථක ප්‍ර‍ථිපල අත්කර දෙන්නට සමත්ව ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිට ඇති දැවැන්ත නිර්මාණයද සුදත් අබේසේකර විසින් ටෙලිකොම් ආයතනයට ඉටුකර දෙනු ලැබූ නිර්මාණයකි. එවැනි නිර්මාණ ගණනාවක් ඔහු සිය සේවාදායකයින් වෙත ඉදිරිපත් කර සිදුකරදී ඇත.

දෘෂ්‍ය කලා ශිල්පී සුදත් අබේසේකර විසින් CROWISM හෙවත් කපුටුවාදය නමින් ඉදිරිපත් කල ස්ථාපන කලා ප්‍ර‍දර්ශන මාලාවේ සිව්වැන්න ඉතා සුවිශේෂී ස්ථාපන කලා ප්‍ර‍දර්ශනයකි. එය ලංකාවේ පවත්වන ප්‍ර‍ථම ජංගම ස්ථාපන කලා ප්‍ර‍ර්ශනය වන අතර එමගින් NGO ක්‍රියාකාරකම් හරහා සිදුවන සමාජ දේශපාලන ව්‍යවසනය සියුම්ව ඉදිරිපත් කිරීමට උත්සාහ ගනු ලබයි. NGO CROWS නමින් ඉදිරිපත් කරනු ලබන මෙම ස්ථාපන කලා ප්‍ර‍දර්ශනය කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් පරිශ්‍රයේදී නොවැම්බර් මස 08 වනදා ආරම්භ කෙරෙන අතර ඉන්පසු එය මොරටුව, ගල්කිස්ස, මහරගම, නුගේගොඩ, රාජගිරිය, කොට්ටාව, හෝමාගම, තලවතුගොඩ ආදී ප්‍රදේශවල පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. NGO ගාය ගැන හරියටම දැනගන්න මෙම ජංගම ස්ථාපන කලා ප්‍ර‍දර්ශනය නැරඹීමට එක්වන ලෙස ඔබටත් ඇරයුම්.

Rate this item
(0 votes)